Pages

Tuesday, August 6, 2013

පිටිකිරි අර්බුදයේ ඇතුළාන්තය

නවසීලන්තයෙන් ආනයන කරනු ලබන කිරිපිටි වර්ග වහාම ක්‍රියාත්මක වන පරිදි වරායෙන් නිදහස්‌ කිරීම මේ වන විට නවතා ඇති කතාව රටම දනී.

ඇත්තටම නවසීලන්තයෙන් ගෙන්වනු ලබන කිරිපිටි වල වේ ප්‍රොaටීන් (Whey Protein)) අධි සාන්ද්‍රණය තුළ Cloatridium botalinum බැක්‌ටීරියාව අඩංගු නම් මේ කිරිපිටි පානය ඉතා භයානක බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ.

නවසීලන්තයේ Whey Protein අධි සාන්ද්‍රණය තුළ Cloatridium botalinum බැක්‌ටීරියාව අඩංගු බවට මුල්වරට ප්‍රකාශයට පත් කර ඇත්තේ නවසීලන්තය යෑයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී. නවසීලන්තය සිය රටේ කිරිපිටි කර්මාන්තය බිඳ වැටෙන බව දැන දැනම මේ බව හෙළි කළේ මුදල්වලට වඩා මිනිස්‌ ජීවිත ඒ රටවලට වටින නිසා ය.
                   
දැනට මෙරට වෙළෙඳපොළේ පවතින ළදරු කිරිපිටිවල මෙම බැක්‌ටීරියාව නැති බව කීවද තවදුරටත් එම ළදරු කිරිපිටි සාම්පල ගෙන දිගටම පරීක්‍ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

දැන් අපි මේ කතා කරන්නට යන්නේ වර්තමානයේදී ජාතියක්‌ හැටියට අප මොන තරම් වස විස අනුභව කරනවාද යන කාරණය පිළිබඳව ය. වස විස බව දැන දැනම වස විස කන්නට අප පෙළඹී සිටින්නේ මන්ද?

එදා ගමේ එළවළු, පලතුරු කමින් අල බතල, කොස්‌ දෙල් කමින් ජීවත් වූ මිනිසුන්ට අවුරුදු එකසිය විස්‌සට දෙසිය විස්‌සක්‌ ආයුබෝ වේවා කියන්නට පුළුවන්කම තිබිණි. ඒ අයට දීර්ඝායුෂ ලැබුණේ ඒ අය වස විස නොකෑ බැවිනි. දේශීය ආහාර කෑම ලැඡ්ජාවක්‌ බවට පත්කර ගෙන වස විස කෑම උජාරුවක්‌ වූයේ කෙළෙසද?

අපි දැන් උදේ සිට රෑ වන තුරුම කන්නේ වස විස ය. රූපවාහිනී තිරය මත දිග හැරෙන නා නා ප්‍රකාරයේ දැන්වීම් දකින කල අපේ ඔලමෝට්‌ටල මිනිසුන් ඒ දේවල් කන්නට පුරුදු වන්නේ ඒ දැන්වීම්වල පෙනී සිටින අය කරන කියන දේ විශ්වාසයට ගනිමිනි.

ඇත්තටම කිරි වීදුරුවක්‌ උදේට පානය කළ යුතුමද? මීට කලකට පෙර අපේ රටේ අය පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කර නොමැති නම් උදේට තේ වතුර බී දවස ඇරඹූහ. කිරි එළදෙනුන් සිටියේ නම් දියර කිරි ටිකක්‌ ලිප තබා රත් කර පානය කළහ. නොමැති නම් ගොටුකොළ කැඳ පානය කළහ. මහා වැව් දාගැබ් ඉදිකළේ නවසීලන්තයෙන් හෝ වෙනත් රටකින් ගෙනා කිරිපිටි පානය කළ උන් නොව, වතුර, තේ, රණවරා, බෙලිමල්, කොළකැඳ ටිකක්‌ උදේට පානය කර ජීවත් වූවන් බව අප සිහිතබා ගත යුතුය.

ශ්‍රී ලංකාවේ ආනයන වියදම්වලින් කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදනවලට වාර්ෂිකව සියයට 1.7 ක්‌ පමණ වෙන් කෙරේ. සාමාන්‍යයෙන් වසරකට ඒ වෙනුවෙන් මෙරටින් පිටරටට ඇදී යන මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 38,000 කට වැඩි ය. මේ සා විශාල මුදලක්‌ වාර්ෂිකව වැය කරන රටකට දේශීය දියර කිරි හෝ කොළ කැඳ වැනි පෝෂ්‍ය දෙයක්‌ බීමට හැකි නම් වාර්ෂිකව රුපියල් මිලියන 38000 කට වඩා රටට ඉතිරි කර ගත හැකිය. එසේ තිබියදී කිසිම පෝෂණ ගුණයක්‌ නැති කිරිපිටි පානයට අපව පොළඹවා ගෙන ඇත්තේ බහුජාතික සමාගම් ය.

දැන් නවසීලන්තයෙන් මෙරටට ගෙන එන කිරිපිටිවල වේ ප්‍රොaටීන් Whey Protein අධි සාන්ද්‍රණය ඇතුළත් බවට සැලකෙන කිරි නිෂ්පාදනවල Cloatridium botalinum බැක්‌ටීරියා ඇතැයි සැලකේ. දැනටමත් නවසීලන්තයෙන් මෙරටට ගෙන්වනු ලබන කිරිපිටි වරායේ රඳවා ගෙන ඇත. වෙළෙඳ පොළේ තිබෙන Whey Protein අධි සාන්ද්‍රණය සහිත කිරිපිටි වහාම ඉවත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගෙන ඇත. කිරි ගන්නේ එළදෙනුන්ගෙන් ය. පැටවකු ලබන එළදෙනකුට කිරි එරෙන්නේ ඒ පැටවාට බීමටය. මහා යන්ත්‍ර සූත්‍ර මේ එළදෙනගේ තනපුඩුවලට ගසා එළදෙනගේ ලේ එළියට එන තුරුම උගේ තනපුඩුවල කිරිටික එළියට ගෙන කිරිපිටි නිෂ්පාදනය කරන්නේ මිනිසුන්ට බීමටය. දියර කිරි, පිටි බවට පත් කිරීම ඉබේ සිදු නොවන්නකි. එය රසායනික ක්‍රියාවලියකි. කිරි, පිටිකර, ඒ කිරිපිටි පැකට්‌ කර රට රටවලට යෑවීම මුදල් මවන උල්පතකි.

පිරිසිදු එළදෙනුන්ගෙන් දොවා ගන්නා කිරි පානය කිරීමෙන් රූ සපුවද, ඇට මිදුළු ද හැඩ වී ශක්‌තිමත් වන බව කියමින් රුපියල් කෝටි ගණන් වැය කර දැන්වීම් පළ කරන බහු ජාතික සමාගම් ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල, දුප්පතුන් කිරි පිටි පානයට නම්මවා ගන්නේ සූක්‍ෂමව ය. ඒ වෙනුවෙන් රූපවාහිනී දැන්වීම්වලට, වෙනත් ප්‍රචාරක ආයතන හා ප්‍රසිද්ධ පුද්ගලයන්ට අත දිග හැර වියදම් කිරීමට මේ සමාගම් දෙවරක්‌ සිතන්නේ ද නැත. අවසානයේදී කිසිම පෝෂණයක්‌ නැති විෂ ගොඩක්‌ උදේම පානය කර නැති ලෙඩ හදා ගන්නට මේ මිනිසුන්ට සිදුවන්නේ උදේට, දවල්ට, සවසට කිරි වීදුරුවක්‌ බීම මහ ලොකුකමක්‌ යෑයි සමාජගත කිරීමෙන් පසුවය.

පෝෂණවේදීන්ගේ අදහස නම් උදේම නැගිට පිරිසිදු වතුර වීදුරුවක්‌ පානය කරන්නේ නම් ඊට වඩා හොඳ පානයක්‌ වෙන නොමැති බවය. කිරිපිටි පානයෙන් සත පහක පෝෂණයක්‌ නොලැබෙන බව ද පෝෂණවේදීන්ගේ ස්‌ථාවරයය. කොළකැඳ පානය ලැඡ්ජාවට කරුණක්‌ වූයේ ද කිරි වීදුරුවක්‌ පානය නොකරන්නේ නම් එය මදිපුංචිකමක්‌ වූයේද බහු ජාතික සමාගම් ජනමනස දැන්වීම් හා ප්‍රචාරණ යාන්ත්‍රණයක්‌ මගින් වෙනස්‌ කිරීම නිසා ය. මිනිස්‌ සිත වෙනස්‌ කළ හැකිය. ඉංග්‍රීසියෙන් 'බ්‍රේන් වොෂ්' ලෙස හඳුන්වන ඒ කෙරුවාව, කිරිපිටි සමාගම්වල දැන්වීම්කරණය හරහා සිදුවන්නේ හරි අපූරුවටය. මේ සමාගම් ඒ වෙනුවෙන් වැය කරන මුදල් කන්දරාව පුදුම සහගතය.

දැන් අපි මේ පානයට ගන්නා කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව කල්පනා කළ යුතු ය.

මිනිසා ක්‍ෂීරපායි සතෙක්‌. ක්‍ෂීරපායි යනු කිරි බී වැඩෙන සත්ත්වයන් බව කවුරුත් දන්නා දෙයකි. හරක්‌ පැටියෙකු ගත් කල ඒ හරක්‌ පැටියා එළදෙනගෙන් කිරි බොන්නේ කුඩා කාලයේදී පමණි. ඊට පසුව ඒ පැටියා තණකොළ බුදින්නට ගන්නේ එළදෙනගේ කිරි වලට ආයුබෝවන් කියමිනි. අනෙකුත් ක්‍ෂීරපායි සතුන්ද කිරි බොන්නේ කුඩා කාලයේ පමණකි. මිනිසා නමැති සතා මැරෙන තුරුම කිරි බොන සතෙකි.

කුඩා කල මවගේ තන පුඩුවල එල්ලී කිරි බොන මිනිස්‌ බබා ඊට පසුව පිටිකිරි බොන්නට පටන් ගන්නේ මේ සමාගම්වල ප්‍රචාරක යාන්ත්‍රණයට අනුවය. මරණ මංචකයේදීත් සිරුරට පෝෂණය අවශ්‍ය යෑයි සිතන මේ මිනිසා වටා සිටින අය කිරි වීදුරුවක්‌ හදා මරණයට ඔන්න මෙන්න කියා සිටින අයට වස පොවන්නේ, මේ වරද පිළිබඳ අනවබෝධයෙනි.

කිරි නිෂ්පාදනය හරි අපූරු එකකි. කිරිවල පෝෂ්‍ය පදාර්ථ සකසන ක්‍රම ද ඇත. දියර කිරිවලට ඇතමුන් කැල්සියම් එකතු කරති. පාට මදි නම් වර්ණ ගැන්වීම සඳහා වර්ණකාරක එක්‌ කරති. විටමින් පෙති වර්ග එක්‌ කරති. මේදය, යොදය, ඇමයිනෝ සහ ජලය එක්‌ වූ පසු කිරිවල ප්‍රමිතිය මැනීමේදී ඒවා හොඳ කිරි ලෙස නීර්ණය කරති.

මේ දියර කිරි විසිර වියළීමේ ක්‍රමය යටතේ අදාළ උෂ්ණත්වයකට හසුකර ජල වාෂ්ප ඉවත් කළ පසු ඒවා පිටි බවට පත්වේ. මේ පිටි අදාළ රසායනික ක්‍රියාවලියෙන් පසු ශ්‍රී ලංකාව වැනි රටවලට ඒවා පැකට්‌ කර, ලොකු මුදලක්‌ ද සඳහන් කර වෙළෙඳ පොළට මුදා හැරේ.

මේවායේ මොන වස විස තිබුණත්, රූපවාහිනියේ පෙන්වන ආකර්ෂණීය දැන්වීම්වලට වස`ගවී, මේ පැකට්‌ මිලදී ගෙන, නිවසට ගෙන ගොස්‌ උණු වතුර දමා සීනිත් දමා ආදරණීය දරුවන්ටත්, සැමියාටත් පානය කිරීමට දී සතුටු වන මවුවරු අපමණය. මේ දරුවාට සැමියාට උදේම පානය කරන්නට දුන්නේ වස යෑයි ඒ මවුවරු දන්නේ නැත.

දැන්වත් අප එකක්‌ කල්පනා කළ යුතුය.

කිරිපිටිවල වේ ප්‍රොaටීන් Whey Protein සාන්ද්‍රණය තුළ Cloatridium botalinum බැක්‌ටීරියාව අඩංගු බවට නවසීලන්තයම ලොවට හෙළිකර ඇත. ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය පාලිත මහීපාල මහතා මගින් නිල නිවේදනයක්‌ මගින් මේ බව රටට හෙළිකර ඇත.

මේ වස විස පානය කරනවාද, නොමැති නම් වස විස පානය නතර කරනවාද? යන්න ජනතාව තේරුම් ගත යුතුව ඇත.

පිටිවල විෂ රසායනික නැතැයි යළි ජනතාවට තහවුරු කරන්නට මේ බහු ජාතික සමාගම් නොගහන ගැටයක්‌ නැත. ඒ ගැට වෙනුවෙන් ඩොලර් මලු පිටින් විසි කිරීමට මේ සමාගම් පෙළඹෙන එක සිකුරුය. දේශීය දියර කිරිවල හා දේශීය කිරිපිටි නිෂ්පාදනවල මේ විෂ නැතැයි ද හෙළි වී ඇත. දැන් දේශීය කිරි සමාගම්වල කරල පැහෙන කාලයයි. ඒ අයත් වැඩි තණ්‌හාවට, වැඩි ලාභයට ලොල් වී කිරිපිටිවල ගුණාත්මක බව නොසලකා කටයුතු කිරීමේ අනතුරක්‌ ද ඇත. ආහාර සහ පාරිසරික සෞඛ්‍ය ඒකකය ඒ පිළිබඳ අවධියෙන් සිටිය යුතුය. මීට මාස කිහිපයකට පෙර කිරිපිටිවල "ඩයිසයනඩයමයිට්‌" (DCD) අඩංගු යෑයි සඳහන් වූ නිසා කිරිපිටි සාම්පල් 177 ක්‌ තායිලන්ත රසායනාගාරවලට යවා පරීක්‍ෂා කර ඇත. මේ වන විටත් සිංගප්පූරුවට හා තායිලන්තයට යවා තවදුරටත් කිරිපිටි සාම්පල් පරීක්‍ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබීම සතුටට කාරණයකි.

වස විස කෑම දැන්වත් අප නතර කළ යුතුමය.

කොලෙස්‌ටරෝල්, ප්‍රෙෂර්, ගැස්‌ට්‍රයිටීස්‌, හාට්‌ඇටෑක්‌, කැන්සර් ආදී ලොකු මිනිසුන්ට වැළඳුන රෝග ඈත දුෂ්කර දුප්පත් ගම්වල උදවියට වැළඳී ඇත්තේ ගමේ කෑම වෙනුවට පිටරටින් ගෙන්වන, රසකාරක සහිත කෑම බීම ගැනීමට ගමේ මිනිසුන් පුරුදු වීමෙනි. පමා වී හෝ තේරුම් ගත් මේ කාරණය සිහියේ තබාගෙන වස විස නැති ගමේ ආහාර පානවලට අප පුරුදුÊවිය යුතුව ඇත.

එකසිය විස්‌සට දෙසිය විස්‌සක්‌ ආයුබෝ වේවා කියූ ශ්‍රී ලාංකික ජාතියට අවුරුදු පනහක්‌ ජීවත් වීමට නොහැකි වූයේ මේ වස විස කෑම නිසා ය. වස විස කෑමට හුරු වූ ඔබට වස විස කෑම අත හැරීමට නොහැකි නම් ආදරණීය දරුවන්වත් මේ උවදුරෙන් ගලවා ගන්න යෑයි අපිs ආයාචනය කිරීමට කැමැත්තෙමු.

* ශිරාන් රණසිංහ
http://www.divaina.com/2013/08/07/feature.html

සබැඳි ලිපි -
[

විෂ රසායන ඇති කිරිපිටි ඉවත දමනු - වෛද්‍ය අනුරුද්ධ පාදෙණියhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_3391.html
නවසීලන්තයෙන් ගේන ළදරු කිරිපිටි නවතයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_54.htmlපුටින් ෆොන්ටෙරා නිෂ්පාදන තහනම් කර පයින් ගසා රුසියාවෙන් පන්නයිhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_60.htmlමරණීය විෂ අසුවේ… සියළු ෆොන්ටෙරා නිෂ්පාදන චීනයෙන් ඉවත් කෙරේhttp://denethharinna.blogspot.com/2013/08/blog-post_9949.html
]

0 comments:

Post a Comment