Pages

Monday, September 30, 2013

නීති විරෝධී සංක්‍රමණිකයන්ව පන්නනවා - බ්‍රිතාන්‍යය

නීති විරෝධී සංක්‍රමණියන් අභියාචනා ඉදිරිපත් කිරීමට පෙර මම ඔවුන්ව බ්‍රිතාන්‍යයට පන්නනවා යෑයි බ්‍රිතාන්‍ය ස්‌වදේශ ලේකම් තෙරේසා මේ පවසයි.

මේ නිසා බ්‍රිතාන්‍යයේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන් 68000 ක්‌ පිටුවහල් කළ හැකි වන බව බ්‍රිතාන්‍ය ස්‌වදේශ ලේකම්වරිය අපේක්‍ෂා කරයි.

මේ සංක්‍රමණිකයන් යුරෝපා අධිකරණය ලවා බ්‍රිතාන්‍යයේ රැඳී සිටීම සඳහා තීන්දුවක්‌ ගැනීමට පෙර තමා ක්‍රියාත්මක වන බවද ඇය කියා සිටියාය.

http://www.divaina.com/2013/10/01/forign04.html

බොකෝ හාරම් මුසලු ත්‍රස්‌තවාදීහු නයිජීරියාවේ විදුහලකට එල්ල කළ ප්‍රහාරයෙන් සිසුන් 50 ක්‌ මරුට

නයිජීරියාවේ යෝගි ප්‍රාන්තයේ කෘෂිකර්ම විදුහලට කඩාවැදුණු ත්‍රස්‌තවාදීන් කළ වෙඩි තැබීමේදී සිසුන් 50 ක්‌ මියගොස්‌ ඇත.

බොකෝ හාරම් ත්‍රස්‌තයන් ඊට සම්බන්ධ යෑයි නයිජීරියානු රජය කියයි

මෙම කෘෂිකර්ම විදුහලට කඩාවැදී වෙඩි තබා ඇත්තේ එම විදුහල බටහිර අධ්‍යාපනයට නැඹුරුවීම නිසා යෑයි වාර්තාවේ. මෙකී ත්‍රස්‌ත ප්‍රහාරයේදී සිසුන් 18 ක්‌ තුවාල ලබා ඇත. මෙම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ විදුහලේ සිටි සිසුන් 1000 පමණ පැන ගොස්‌ තිබේ.

http://www.divaina.com/2013/10/01/forign03.html

යුරෝපා මානව හිමිකම් ප්‍රඥප්තියෙන් ඉවත් වෙනවා - ඩේවිඩ් කැමරන්

යුරෝපා මානව හිමිකම් ප්‍රඥප්තියෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියයි

බ්‍රිතාන්‍යය ත්‍රස්‌තවාදයෙන් ආරක්‍ෂිත රටක්‌වීමට නම් එකී ප්‍රඥප්තියෙන් ඉවත්විය යුතු යෑයි හෙතෙම තවදුරටත් පළ කළේය.

අල්කයිදා සංවිධානයට සම්බන්ධ අල් කුයිටබා නමැත්තා බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමට නොහැකිවී ඇත්තේ ඉහත කී ප්‍රඥප්තිය බවද අගමැති කැමරන් සඳහන් කළේය.

බ්‍රිතාන්‍යය වෙත පැමිණි අපරාධ සිදු කරන පිරිස්‌ නිසා අපේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ල වෙනවා. එවැනි විටෙක යුරෝපා මානව හිමිකම් ප්‍රඥප්තිය තුළින් ඉවත්විය යුතුයි යෑයි ඔහු කීවේය.

http://www.divaina.com/2013/10/01/forign01.html

ගාන්ධි පරපුරද? නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයද? - හරේන්ද්‍ර මෝඩි

පරපුර ද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය ද යන්න ඉන්දීය ජනතාව තෝරාගත යුතු බව භාරතීය ජනතා පක්‍ෂයේ අගමැති අපේක්‍ෂක නරේන්ද්‍ර මෝඩි නවදිල්ලියේ පැවැති මැතිවරණ රැලියක්‌ අමතා පළ කළේය.

ඔහු කොන්ග්‍රස්‌ පක්‍ෂයේ උප සභාපති රාහුල් ගාන්ධිට ද චෝදනා කළේය.

නවදිල්ලියේ පැවැති මෙම රැලියට 200,000 කට අධික පිරිසක්‌ සහභාගි වී ඇත. රාහුල් ගාන්ධි අගමැති මන්මෝහන් සිංට අවමන් කළා. එවන් පක්‍ෂයක්‌ තෝරා ගන්නවා ද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය තෝරා ගන්නේ ද යෑයි මෝසි එම රැළියේදී ප්‍රකාශ කර තිබේ.

http://www.divaina.com/2013/10/01/forign02.html

සිසු පැතුම් ඵල ගන්වමින්, ලබන දෙසැම්බරයේ පේරාදෙණියට නව කළමනාකරණ පීඨයක්‌

දැනට පවතින කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙනුවට නව කළමනාකරණ පීඨයක්‌ ලබන දෙසැම්බර් මස ආරම්භ කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය තීරණය කර ඇත.

කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙනුවට කළමනාකරණ පීඨයක්‌ ඉල්ලා එහි සිසුහු පසුගිය සෙනසුරාදා (28 වැනිදා) සත්‍යග්‍රහයක්‌ද කළහ. සිසුන් ප්‍රකාශ කර සිටියේ කළමනාකරණ පීඨයක්‌ නොපිහිටුවන්නේ නම් අඛණ්‌ඩ සත්‍යග්‍රහයක්‌ ආරම්භ කරන බවය.

නව කළමනාකරණ පීඨය ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස්‌ කර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා "දිවයින"ට පැවසීය.

නිලන්ත මදුරාවල
http://www.divaina.com/2013/10/01/provin01.html

සබැඳි ලිපි -
[

කළමනාකරණ පීඨයක්‌ ඉල්ලා පේරාදෙණියේ සත්‍යග්‍රහයක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_285.html
]

සොඳුරු වනපෙත නිවසටම ගෙනෙන බොන්සායි කලාව

බොන්සායි ශාකයක්‌ නිර්මාණය කිරීම තෘප්තිජනක හා ආශ්වාදයක්‌ ගෙන දෙන විනෝදාංශයක්‌ විය හැකිය. නැතහොත් එය පෙන්නුම් කළ හැකි කිසිවක්‌ නොමැති මෙන්ම බලාපොරොත්තු සුන් වූ අත්දැකීමක්‌ විය හැකිය. ඒ සඳහා දැනුම හා ඉවසිලිවන්ත බවක්‌ තිබිය යුතුය. බොන්සායි ලෝකය කරා පියමන් කරන පුදුම සහගත ගමන ඇරඹීමට පෙරාතුව ඔබ මූලික දැනුමක්‌ ලබාගත යුතුවෙයි. මේ සඳහා ඔබට යම් ඉවසිලිවන්ත බවක්‌ ද ඇවැසි වේ.

බොන්සායි කලාව ඉතාමත් සරල ආකාරයෙන් ගතහොත් කුඩා බඳුනක්‌ තුළ සොබාදහම පෙන්නුම් කරදීමේ ප්‍රයත්නයකි. ස්‌වභාවික වශයෙන් ඉපැරණි ශාකයක්‌, වනගහනයක්‌, භූ දර්ශනයක්‌ පිළිබඳ හැඟීමක්‌ බොන්සායි කලාව තුළින් ප්‍රකාශිත වෙයි. එය ක්‍ෂුද්‍රරූපී අයුරින් සොබාදහම ප්‍රතිජනනය කරන්නකි. එහෙත් එය ජීවී ශාකයක්‌ ද වෙයි. වසර ගණනාවක්‌ මුළුල්ලේම එබඳු කුඩා ප්‍රමාණයේ ස්‌වභාවික වූ යමක්‌ පෝෂණය කරලීම ප්‍රියජනක මෙන් විනෝදජනක වූවකි.

බොන්සායි කලාකාමී පිරිස්‌ සොබාදහමේ සොඳුරු බව අගයමින් කුඩා බඳුන්හි ශාකයන් වැවීම කරති. එවැනි කාර්යයක නියෑළෙමින් ඔවුහු සොබාදහමින් හා ජීවන දර්ශනයෙන් යමක්‌ උගනිති. බොන්සායි කලාව පිළිබඳ කිසිදු වැටහීමකින් තොර තැනැත්තෙකුට වුවද එහි සොඳුරු බව අගයමින් ඉන් ආශ්වාදයක්‌ ලැබිය හැකිය, බොන්සායි කලාව තුළ ගැබ්වී ඇති ශක්‌තිය වනුයේ සොබාදහමේ අතිසුන්දරත්වය විදහාපෑමට එතුළින් ලබාදෙන හැකියාවයි. බොන්සායි ක්‍රමානුකූලව ශාක වැවීමෙහි නියෑළෙන සැමදෙනා විසින්ම දිනා ගත යුතු ඉලක්‌කය මෙය වෙයි.

බොන්සායි ක්‍රමයට අනුව ශාකයක්‌ වැවීමේදී එක්‌ එක්‌ ශාකයෙහි ප්‍රබල හා දුබල සාධක පිළිබඳ ඉගෙනීම බෙහෙවින් වැදගත් වන්නෙකි. බොන්සායි ශාකයක්‌ හදාවඩා ගැනීම දරුවකු හදාවඩා ගැනීමක්‌ බඳුය. ගුරුවරයකු හා මඟපෙන්වන්නෙකු වන අතරම ඉවසීම හා ආදරයද දැක්‌විය යුතුය. ඔබේ පවුල කෙරෙහි ඔබ දක්‌වන්නා වූ සැලකිල්ලම ඔබේ ශාකයන් කෙරෙහිම දැක්‌විය යුතු වෙයි. මෙලෙසින් පියවර ගතහොත් ඔබ සැමටම දැකුම්කළු බොන්සායි ශාක නිර්මාණය කොට වැවීමට හැකි වෙතැයි මම විශ්වාස කරමි.

බොන්සායි ශාකයක්‌ යනු එහි මුල් හා පත්‍ර ඇසුරෙන්ම ජීවී වස්‌තුවකි. ශාකයට කතාබහ කළ නොහැකි වුවත් එය පෝෂණය කරලීමේ යෙදෙන සෑම දිනයකදීම ශාකය ඔබට යමක්‌ කියන්නට උත්සාහ දරන බවක්‌ ඔබට හැඟී යනු ඇත. ශාකය ඔබගෙන් ජලය හෝ පොහොර ඉල්ලමින් ඇති බවක්‌ කිසියම් දිනකදී ඔබට දැකගත හැකි වනු ඇත. එකී අවස්‌ථාව කරා ඔබ එළෙඹෙන විටදී ඔබ ශාකය සමඟ කිට්‌ටු සබැඳියාවක්‌ ගොඩනගා ගෙන තිබෙනු ඇත. බොන්සායි ශාකය ඔබේ ආදරය හා කරුණාවට ප්‍රතිචාර දක්‌වමින් මිනිසුන් අතර මෙන් මුසාව හෝ පාවාදීම් වලින් තොර අවංක මිතුරන් බඳු තත්ත්වයකට පත්වනු ඇත.

බොන්සායි කලාව වූ කලී ආකර්ෂණීය ප්‍රතිඵල ගෙනදිය හැකි තෘප්තිජනක මෙන්ම නිර්මාණශීලී විනෝදාංශයකි. සොඳුරු බව, විධික්‍රමය හා අත්දැකීම් පිළිබඳ හැඟීම ඊට පාදක වී තිබේ. මනාව හැදීවැඩුණු බොන්සායි ශාක බොහෝ වටිනාකමින් යුතු වෙයි. එබඳු ශාක විරලය. නිසි පරිදි සැලකිලිමත්ව රැකබලා ගත හොත් ඒවා දර්ශනීය කලා කෘතීන් බවට පත්විය හැකිය. චිත්‍රයක්‌ හෝ මූර්තියක්‌ පරිද්දෙන් එක්‌ එක්‌ බොන්සායි ශාකයන් සුවිශේෂී මෙන්ම පෞද්ගලික වූ ලක්‍ෂණ යන්ගෙන් යුතු වනු ඇත. සොබාදහම කිසිදුවිටකදී අනුකරණබිහි නොකරයි.

බොන්සායි යනු ජීවන කලාවකි. සැබෑ ශාකයක නිරූපණයක්‌ ඔබ ගොඩනැගුවහොත් එකී නිර්මාණය වර්ධනය වෙමින් නව නිපැයුමක්‌ බවට පරිණාමය වන අයුරු ඔබට දැකගත හැකි වනු ඇත. ඔබේ බොන්සායි ශාකය හැදී වැඩෙමින් ඔබ අපේක්‍ෂිත කලාත්මක බව සුරැකීම සහතික කරගැනීම ඔබේ කාර්යය වනු ඇත.

නිදහස්‌ හා විවෘත මනසකින් නිර්මාණය කරලීම තුළින් යමෙකුගේ බොන්සායි ශාකයන්හි ප්‍රශස්‌ත ලක්‍ෂණයක්‌ වර්ධනය කරගැනීම බෙහෙවින් වැදගත් වන්නෙකැයි මට හැඟේ. ශාකයෙහි ස්‌වභාවික ලක්‍ෂණයන් වර්ධනය වීම සහතික කරගනු පිණිස එක්‌ එක්‌ නව ශාකයන් නවමු දෘෂ්ටියකින් නිර්මාණය කළ යුතු වෙයි. ඔබ බොන්සායි කලාව ප්‍රගුණ කළහොත් පුද්ගලයකු වශයෙන් ඔබ තුළ යම් වෙනසක්‌ සිදුවනු ඇතැයි මම විශ්වාස කරමි. එකී වෙනස්‌කම තුළින් ඔබ වඩාත් යහපත් පුද්ගලයකු බවට පත්වනු ඇත. එමගින් ඔබට ඉවසීම හා ගෞරවාදරය දැක්‌වීම ඉගැන්වෙනු ඇත. සැබැවින්ම මෙමගින් මා වඩාත් යහපත් අයෙකු බවට පත්කෙරී ඇත. ඔබ අපේක්‍ෂිත අයුරින් බොන්සායි ශාක වැවීමෙන් ඔබේ හැඟීම් ප්‍රකාශිත වන සේ විධික්‍රම පරිපූර්ණ වශයෙන් සකසා ගත හැකිය.

2013 ඔක්‌තෝබර් මස 04, 05 සහ 06 දින දී පෙරවරු 9.30 සිට 6.30 දක්‌වා කොළඹ 07, නෙළුම් පොකුණ මාවත හී ජාතික කලාභවනේදී පැවැත්වේ. බොන්සායි ප්‍රදර්ශන සෙනසුරාදා හා ඉරිදා පෙරවරු 11.00 සිට පස්‌වරු 4.00 දක්‌වා පැවැත්වේ.

බොන්සායි යනු ජීවන කලාවකි. සැබෑ ශාකයක නිරූපණයක්‌ ඔබ ගොඩනැගුවහොත් එකී නිර්මාණය වර්ධනය වෙමින් නව නිපැයුමක්‌ බවට පරිණාමය වන අයුරු ඔබට දැකගත හැකි වනු ඇත. ඔබේ බොන්සායි ශාකය හැදී වැඩෙමින් ඔබ අපේක්‍ෂිත කලාත්මක බව සුරැකීම සහතික කරගැනීම ඔබේ කාර්යය වනු ඇත.

ශාන්ති ප්‍රනාන්දු - ශ්‍රී ලංකා බොන්සායි සංගම
http://www.divaina.com/2013/10/01/feature04.html

හැමටම එකසේ සැලකූ කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝ

අපවත්වී වදාළ කතරගම කිරිවෙහෙර අධිපති, ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අතිපූජ්‍ය අලුත්වැව සෝරත නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ ආරාමයේ වසර පහක්‌ පමණ වැඩ වාසය කරමින් ඉතා සමීපව ආශ්‍රය කරමින් සිටි මම, උන්වහන්සේ තුළින් ශ්‍රේෂ්ඨ උත්තමයකු දුටුවෙමි. එහි සිට ජපානයට යනතුරුත්, ඉන්පසුවත් උන්වහන්සේගේ ආශිර්වාදය මට ලැබිණි. එම නිසා දෙවතාවක්‌ ම මගේ ආරාධනයෙන් උන්වහන්සේ ජපානයට වඩම්මවාගෙන ගෞරව සත්කාර දක්‌වන්නට ලැබීම මට මහත් වාසනාවක්‌ විය.

සංඝ සමාජය තුළ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ අතිගරු අලුත්වැව සෝරත නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ සංඝ සෝභන ගුණයන්ගෙන් අනූන වූහ. බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන් සංඝ සෝභන ගුණ වූ ව්‍යක්‌ත බව, විනීත බව, විශාරද බව, බහුශ්‍රැත බව, ධර්මධර බව, ධම්මානුධම්ම පටිපන්න බව නිතැතින්ම උන්වහන්සේ වෙත පැවතිණි.

අති ගෞරවනීය පරන්තේ ආනන්ද නාහිමි, අති ගෞරවනීය පොළොම්මාරුවේ රේවත නාහිමි යන ආචාර්යයන් වහන්සේලාගෙන් පැවිදි බව ලබා කුඩා කල සිට සුපේෂළ ශික්‍ෂාකාමී භික්‍ෂුවක ලෙස හැදී වැඩුනහ. මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත් උන්වහන්සේ පසුව ආචාර්ය උපාධියද දිනා ගත්හ. ව්‍යක්‌ත විශාරද පඬිවරයකු ලෙස ප්‍රකට උන්වහන්සේ "කතරගම පුද සිරිත්", "ශ්‍රී ලංකාවේ බෝධි සංස්‌කෘතිය", "මානසික ශික්‍ෂණය උදෙසා බෞද්ධ භාවනාව" , "කතරගම ලිපි" ආදී ශාසත්‍රීය ග්‍රන්ථ රැසක්‌ ලියා පළ කළහ.

උන්වහන්සේ තුළ පැවැති විචාරශීලී, පර්යේෂණාත්මක බුද්ධිය එම කෘතිවලින් මැනවින් ප්‍රකට වේ. එසේම උන්වහන්සේගේ සාකච්ඡාවලින් හා දේශන තුළින් ද බුද්ධියේ පරිණතභාවය පැහැදිලි වන්නේය. අදහස්‌ තර්කානුකූලය. හරවත්ය. රසවත්ය.

කතරගම කිරිවෙහෙර අධිපති තනතුර දැරුව ද ආචාර්ය උපාධිය දිනා සිටියද විශ්වවිද්‍යාල කුලපතිවරයෙක්‌ වුවද සංඝ සමාජය තුළ මහා යතිවරයකු ලෙස පිදුම් ලැබුවද අප නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ නිහතමානී ගුණයෙන් යුක්‌ත වූහ. ඕනෑම කෙනකුට ළංව කතාබහ කළ හැකි ඕනෑම කෙනකුගේ ප්‍රශ්න, දුක සානුකම්පිතව අසන කාරුණික යතිවරයන් වහන්සේ කෙනෙක්‌ වූහ. මා සමීපවම ඇසුරු කිරීමෙන් දැනගත් දෙයක්‌ නම් අනුන්ගේ දුකට තදින් හදවත කම්පා වෙන බවයි. කිසි විටෙක කේන්ති නොගැනීමද උන්වහන්සේගේ විශේෂ ස්‌වභාවයකි. අතිගරු නායක හාමුදුරුවෝ අසරණයන්ට, අසාධාරණයට ලක්‌ වූවන්ට, දුප්පතුන්ට හිතපක්‍ෂපාතිව කටයුතු කිරීම සිරිත විය. බොහෝ දෙනා යමක්‌ කමක්‌ ඇති තැනට සැළකිල්ල දැක්‌වීම සිරිතයි. එහෙත් නායක හාමුදුරුවන්ගේ සිරිත වූයේ අඩුපාඩුවක්‌ අපහසුවක්‌ ඇති තැනට පිහිට වීමයි.

උන්වහන්සේ තුළ දුටු තවත් විශේෂයක්‌ නම් ඕනැම කෙනකුට එක වගේ සැලකීමය, පිළිගැනීමය. අගමැති, ජනාධිපති වැනි කෙනකු පැමිණියත් ඔවුන්ට කියා වැඩි විශේෂත්වයක්‌ නොදක්‌වති. ඔවුන් ඉදිරියේ ගුණ වර්ණනා කිරීමට නොපෙළඹෙති. එසේම සාමාන්‍ය දුප්පත් මනුස්‌සයෙක්‌ පැමිණි විටෙක ඔවුන්ට සැළකිල්ලක්‌ නොදක්‌වා ගණන් නොගෙන සිටිනා ස්‌වභාවයක්‌ උන්වහන්සේ වෙත නොතිබිණි. ඔවුන්ගේ අවශ්‍යතාවන් පිළිබඳ සැළකිල්ලෙන් කතා කොට සිත් සැනසෙන පරිදි කතා කිරීම මහත්මා ගතියක්‌ ලෙස දක්‌නට ලැබිණි.

කිසිවිටෙක කිසිවකු විවේචනය නොකළේ, කිසිවකුට අවමන් නොකළේ උන්වහන්සේගේ සානුකම්පිත බව නිසාය. හැම කෙනකුට ම ආත්මගරුත්වය කියා දෙයක්‌ ඇති බව උන්වහන්සේ පිළිගත්හ. ඒ නිසා හැමදෙනාම සුහදශීලීව පිළිගැනීමත් ප්‍රියමනාප ලෙස කතා කිරීමත් නායක හාමුදුරුවන් වහන්සේගේ සිරිත විය.

අතිගරු අළුත්වැව සෝරත නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ අධ්‍යාපනයෙන් ඉහළට ගියා සේම ප්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ලෙස කැප වූ චරිතයක්‌ විය. කතරගම මහා විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කරමින් විද්‍යාලයේ දියුණුවට වෙහෙසුණහ. නියෝජ්‍ය විදුහල්පති වීමෙන් පසු එම මහා විද්‍යාලය මධ්‍ය මහා විද්‍යාලයක්‌ බවටත් ජාතික පාසලක්‌ බවටත් පත් කර ගත්හ. භෞතික සම්පත් වර්ධනය කළ අතර මානව සම්පත් ද සංවර්ධනය කළහ. උන්වහන්සේ නිසා කතරගම මධ්‍ය මහා විද්‍යාලය ප්‍රදේශයට ප්‍රදීපස්‌තම්භයක්‌ වූ බව හැමදෙනාම අවිවාදයෙන් පිළිගනිති.

විහාරස්‌ථ දහම් පාසල ආරම්භ කිරීමෙන් ද විශාල අධ්‍යාපනික සේවාවක්‌ සැලසිණි, තම ගුරු දේවයන් වහන්සේලා දෙනම අනුස්‌මරණය කිරීම වශයෙන් "ආනන්ද රේවත දහම් පාසල" නමින් දහස්‌ ගණනක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිටින ඉතා ප්‍රබෝධමත් දහම් පාසලක්‌ ගොඩනඟා අධ්‍යාපනික වශයෙන් ඉමහත් සේවාවක්‌ ඉටු කර ඇත. එහි දරුවන්ට චාම්, ලස්‌සන නිල ඇඳුමක්‌ ලබා දෙන අතර ඔවුන් දිරි ගැන්වීමට විවිධ ත්‍යාග පිරිනැමෙන බව පැහැදිලිය.

කතරගමට වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයක්‌ ඇති කොට දහස්‌ ගණනක්‌ තරුණ තරුණියන්ට රැකියා පුහුණුව ලබාදී ජීවිත ආලෝකමත්a කර ඇත. අතිගරු මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමන් කලින් කාර්මික හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා ලෙස සිටියදී එතුමන්ගේ සහයෙන් එම වෘත්තිය පුහුණු මධ්‍යස්‌ථානය ආරම්භ කරන ලදී. ඊට බොහෝ පහසුකම් සපයනු ලැබිණි. පාසල් හැර යන ළමයින් නිවැරදි මාර්ගයක යොදවා ඔවුන්ගේ ජීවිත සාර්ථක කරදී ආර්ථික වශයෙන් ශක්‌තිමත් පවුලක්‌ ගොඩනැගීම උන්වහන්සේගේ අධිෂ්ඨානය විය. එම අදහසම කොතරම් පරාර්ථකාමී ද යන්න පැහැදිලිය. "බහුජන සුඛාය" යන තේමාව අතිගරු නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේගේ මුළු ජීවිතයේම පැවතිණි.

කතරගම කිරිවෙහෙර අංගසම්පූර්ණ පූජනීය විහාරස්‌ථානයක්‌ බවට පත් කිරීමට අතිගරු නායක හිමිපාණන් වහන්සේ ක්‍රියා කළ බව හැමදෙනාම හොඳින් දනිති. විහාරස්‌ථානයේ වගකීම් පැවරෙන විට පැවතුණේ ලැගුම්ගේ පමණි. ක්‍රමයෙන් සියලු අංග උපාංග සම්පූර්ණ කොට භික්‍ෂූන් වහන්සේටත් සැදැහැවත් උපාසක උපාසිකාවන්ටත් පහසුකම් සැලසුණි. දහම් පාසල් දරුවන් දහස්‌ ගණනකට අධ්‍යාපනය ලබන්නට ගොඩනැඟිලි පහසුකම් සැලසුණා සේම දහස්‌ ගණන් උපාසක උපාසිකාවන්ට පෙහෙවස්‌ සමාදන් වීමට පහසුකම් සලසා දුන්හ. මහසෙන් උපාසක සමිතිය මගින් සීල සමාදාන වැඩසටහන පොහෝ දවස්‌හි ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වේ. එය නායක මාහිමිපාණන් වහන්සේගේ මග පෙන්වීම යටතේ සිදු කෙරෙන යහපත් සේවාවක්‌ ලෙස බොහෝදෙනා අගය කරති. ඉතා ඈත පළාත්වලින් පවා පෙහෙවස්‌ සමාදන් වීමට කිරිවෙහෙරට පැමිණෙන්නේ ඒ නිසාය.

අපේ නායක හාමුදුරුවෝ ඉතා ශ්‍රද්ධාසම්පන්න වූහ. කොතරම් වැඩ රාජකාරි තිබුණත් නොවරදවා, නොකඩවා බුද්ධ වන්දනාවේ යෙදුණහ. වත පිරිත කියූහ. උදේ සවස 6.30 ට කිරිවෙහෙර වහන්සේ වෙත ගොස්‌ ඒ වන්දනාමාන කිරීම උන්වහන්සේගේ සිරිතය. හරවත් ජීවිතයක්‌ ගත කිරීමට උන්වහන්සේ තුළ පැවැති ඒ ශ්‍රද්ධාව ඉතාම වටිනා ගුණයක්‌ විය.

ප්‍රදේශයේ ජීවත් වන දුප්පත් අහිංසක මිනිසුන් පිළිබඳ උන්වහන්සේ තුළ පැවතුණේ ඉතා සානුකම්පිත හැඟීමකි. විශේෂයෙන් ගොවිතැන් කර ගෙන ජීවත් වන මනුෂ්‍යයන්ට සහයෝගය දක්‌වමින් යල - මහ දෙකන්නයෙන්ම ගොවිතැන් කරන්නට ඔවුන්ට උපකාර වූහ. මැණික්‌ ගඟ කුඩා ගල් අමුණ ප්‍රදේශයෙන් හරස්‌ කර කතරගම ප්‍රදේශයේ ඇති වැව් ජලයෙන් පුරවා ගොවියන්ට ජල පහසුකම් ලබාදීමට ක්‍රියා කළහ. මහාඝෝෂපුර ගම්මානය ඉදිකරමින් ස්‌ථිර නිවාස 200 කට වඩා ඉදිකොට අහිංසක දිළිඳු පවුල් පදිංචි කරවා සෙත සැලසීමට පුරෝගාමී වූහ. එපමණක්‌ නොව රාජ්‍ය අනුග්‍රහයෙන් විශාල ක්‍රීඩාපිටියක්‌ සකස්‌ කරවා තරුණ තරුණියන්ට ක්‍රීඩා කෞශල්‍ය දියුණු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දුන්හ.

සංඝ සමාජයේ වුවත් ඉතා කලාතුරකින් පහළ වන යුග පුරුෂයකු බඳු ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්‌වාමින්ද්‍රයන් වහන්සේ ලොකු කුඩා හැමගේ ම ගෞරවාදරයට පාත්‍ර වූයේ උන්වහන්සේගේ උගත්කමත් ගුණවත්කමත් සේවයට කැපවීමත් නිසාය. මුදලට වහල් නොවී මුදල් පසුපස නොයමින් සාධාරණ ලෙස ලැබෙන මුදලද අන්තිම සතය දක්‌වා අනුන් වෙනුවෙන් කැප කළ ඉතා ආදර්ශවත් සංඝ පිතෘන් වහන්සේ කෙනකු ලෙස අපවත් වී වදාළහ. මේ සමාජයට අවශ්‍ය කරන්නේ එබඳු සත්පුරුෂයන් සිය ගණනින් දහස්‌ ගණනින් පහළ වීමය. අපි අපේ නායක හාමුදුරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

ජපානයේ නරිතසන් ජෝසෝජි විහාරාධිපති, දහම් සෙවනේ සිඟිත්තෝ විහාරාධිපති, සුදුහුම්පොල විමලසාර මාහිමියෝ
http://www.divaina.com/2013/10/01/feature02.html

සබැඳි ලිපි -
[

සෝරත නාහිමියන් සසුනට කළ මෙහෙය විශිෂ්ටයි - අමරපුර සංඝ සභාවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6464.htmlසෝරත නාහිමියන්ට ගෞරව දැක්‌වීමට ජන ගඟක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_7367.html
]

සෝරත නාහිමියන් සසුනට කළ මෙහෙය විශිෂ්ටයි - අමරපුර සංඝ සභාව

කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපතිව වැඩ විසූ ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්‌වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ බලවත් සංවේගය පුද කර සිටි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ බලවත් සංවේගය පුදනමෙන් එම සංඝ සභාවේ සභාපති මහෝපාධ්‍යාය දොඩම්පහල චන්ද්‍රසිරි මහානාහිමියන් නිකුත් කළ ශෝක පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ස්‌වකීය කිරිවෙහෙර විහාරගණය පිළිබඳව කැප වී ක්‍රියා කළ උන්වහන්සේ මැනවින් ඒවා සංරක්‌ෂණය කර පෝෂණයද කරමින් පාරිසරික ආකර්ෂණයට නතුවන අයුරින් හා පැමිණෙන කවරමවුව ශ්‍රද්ධා භක්‌තිකයකුට සිය ශ්‍රද්ධාව වැඩි දියුණු වන පරිදි සකස්‌කරවන්ට තරම් පොහොසත් වූහ.

ශාස්‌ත්‍රීය අතින් ද සුවිශාල සේවාවක නිතර වූ උන්වහන්සේ ඌව වෙල්ලස්‌ස විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය දරමින් අප්‍රමාණ ශාස්‌ත්‍රීය සේවාවක නිරත වූහ. මේ සියලු ක්‍රියාවනට වඩා උන්වහන්සේ අතින් සිදුවූ වැදගත්ම සේවාව වනුයේ මේ ශාසනය පවත්වාගෙන යැම සඳහා සුදුසු ප්‍රතිඵල සම්පන්න සිසු පිරිසක්‌ තනා තිබීමයි.

දශක හයකට අධික කාලයක්‌ සම්බුද්ධ ශාසනයේ විරස්‌ථීතිය උදෙසා අප්‍රමාණ ආගමික, ශාසනික ශාස්‌ත්‍රීය හා සමාජ සේවාවක නිරත වී වදාළ පූජ්‍ය පාද ආචාර්ය අලුත්වැව සෝරත නායක ස්‌වාමීන් වහන්සේට උතුම් අමාමහ නිවන් සුව ලැබේවායි සමස්‌ත අමරපුර මහා සංඝ සභාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි.

http://www.divaina.com/2013/10/01/news17.html

සබැඳි ලිපි -
[
සෝරත නාහිමියන්ට ගෞරව දැක්‌වීමට ජන ගඟක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_7367.html
]

'ටෙලිමේල්' නීත්‍යානුකූල පිළිගැනීමක්‌ අවශ්‍යයි

විකල්ප වැඩපිළිවෙළක්‌ නොමැතිව තැපැල් විදුලි පණිවුඩ සේවාව (ටෙලිග්‍රෑම්) අද (1 දා) සිට අහෝසි කිරීම හේතුවෙන් දාහතර ලක්‍ෂයක්‌ පමණ වන රජයේ සේවකයන්ට අත්‍යවශ්‍ය අවස්‌ථාවලදී සේවයට වාර්තා කිරීමට නොහැකි බව නිල වශයෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමට තිබූ අවස්‌ථාව අහිමිව තිබෙන බව තැපැල් වෘත්තීය සමිති චෝදනා කරයි.

මෙය සමස්‌ත රජයේ සේවකයන්ට එල්ල කළ කම්මුල් පහරක්‌ ලෙස තමන් සලකන බව ලංකා තැපැල් සේවක සංගමයේ ලේකම් ජයන්ත විෙ-සේකර මහතා "දිවයින" ට ඊයේ පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ජයන්ත විෙ-සේකර මහතා, විදුලි පණිවුඩ සේවාව අහෝසි කොට ඒ සඳහා විකල්පයක්‌ ලෙස ටෙලිමේල් සේවාව හඳුන්වා දීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නමුත් විදුලි පණිවුඩයට තිබෙන නීත්‍යානුකූල පිළිගැනීම ටෙලිමේල් සේවාවට නැහැ.

දුරකථන ඇමතුමක්‌ දීලා නැත්නම් එස්‌. එම්. එස්‌. එකක්‌ ගහලා හදිසි අවස්‌ථාවකදී රජයේ සේවකයන්ට නීත්‍යානුකූල ලෙස නිවාඩු වාර්තා කිරීමට හැකියාවක්‌ නැහැ. නීත්‍යානුකූල ලියවිල්ලක්‌ ලෙස අධිකරණය පිළිගන්නෙත් විදුලි පණිවුඩ සේවාව විතරයි. එනිසා රජය වහාම විදුqලි පණිවුඩයට තිබූ නීත්‍යානුකූල පිළිගැනීම ටෙලිමේල් සේවාව සඳහා ද ලබාදිය යුතුයි.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2013/10/01/news12.html

සබැඳි ලිපි -
[
ටෙලිග්‍රෑම් වෙනුවට 'ටෙලිමේල්' හෙට සිටhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_3961.html
]

ටීඑන්ඒ ඉඩම් පොලිස්‌ බලතල ඉල්ලයි

උතුරු පළාත් සභාවට ඉඩම්, පොලිස්‌ බලතල ලබාගැනීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වී සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය (ටී එන් ඒ) තීරණය කර ඇත. එහෙත් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ ඉඩම් බලතල හිමිවන්නේ මධ්‍යම රජයට පමණක්‌ බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ පිළිබඳ පැවති නඩු විභාගයකින් පසුව තීන්දු කරන ලදී.

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවට තේරී පත්ව සිටින මහ ඇමැති ඇතුළු ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීමෙන් පසු ලබන සති අන්තයේදී ඉහත සාකච්ඡාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රථම වතාවට රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වෙන මෙම සාකච්ඡාව තීරණාත්මක එකක්‌ වනු ඇති බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්‌ සෙවීම සඳහා රජය විසින් පත්කර තිබෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට දෙමළ ජාතික සන්ධානය මෙතෙක්‌ සහභාගි නොවූව ද රජය සමඟ පවත්වන සාකච්ඡාවෙන් පසු එම සන්ධානය තේරීම් කාරක සභාවට සහභාගි වනු ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

එහෙත් මේ සාකච්ඡාවේදී රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් කිසිදු එකඟතාවකට නොඑන බව එම ආරංචි මාර්ග පළ කළේය.

උතුරේ ප්‍රාන්ත පොලිසියක්‌ ස්‌ථාපිත කිරීම සඳහා උතුරු පළාත් සභාව කරන ඉල්ලීමට රජය එකඟ වුවහොත් පොලිස්‌ දෙපාර්තමේන්තුව කැබලි කීපයකට කැඩෙන බව පොලිස්‌පති නලින් ඉලංගකෝන් මහතා දැනටමත් අනතුරු අඟවා තිබේ.

මේ අතර ද්‍රවිඩ සන්ධානය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්‌කර ගැනීම සඳහා රජය ක්‍රියා කරන අතර එහිදී උතුරේ ජනතාව නඟාසිටුවීම සඳහා කළයුතු යෝජනා රජය ද්‍රවිඩ සන්ධානය වෙත යොමුකරනු ඇත.

මේ අතර ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීමක්‌ වූ උතුරින් හමුදාව ඉවත් කිරීමේ යෝජනාව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත.

එහෙත් ඉන්දීය වානිජ නාවික කටයුතු ඇමැති ජී. කේ. වාසන් පවසන්නේ උතුරින් හමුදාව ඉවත් කිරීම සඳහා ඉන්දීය රජය වාතාවරණයක්‌ සකස්‌ කරන බවය.

කීර්ති වර්ණකුලසූරිය සහ නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/10/01/news01.html

Sunday, September 29, 2013

ඉඩම් බලතල පිළිබඳ දෛවෝපගත නඩු තීන්දුව

උතුරු පළාත් සභාව දිවුරුම් දීමටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් පළාත් සභාවලට රජයේ ඉඩම් සම්බන්ධ කිසිදු බලයක්‌ නැතැයි තීරණය වීම සැබවින්ම දෛවෝපගත සිද්ධියකි. මෙය කිසිසේත්ම සැලසුම් කර කරන ලද්දක්‌ නම් නොවන බව ඉතාමත්ම පැහැදිලිය. පහසුව සඳහා "සෝලෙයිමුත්තු රාසු" නඩුව හැටියට හැඳින්විය හැකි මෙකී නඩුව අවුරුදු 18 ක්‌ පමණ උසාවි පද්ධතිය තුළ ඒ මේ අත ගිය පැරණි නඩුවකි. මෙය මුලින්ම උසාවියට ගියේ 1995 දීය. ඒ අවස්‌ථාවේදී රාජ්‍ය වැවිලි සංස්‌ථාව ඔවුන්ට අයත් ඉඩමක අනවසරයෙන් පදිංචි වී සිටි සෝලෙයිමුත්තු රාසු නම් පුද්ගලයකු එම ඉඩමෙන් ඉවත් කර ගැනීම සඳහා නුවරඑළිය මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩු පැවරුවේය. මහෙස්‌ත්‍රාත්වරයා මෙම අනවසර පදිංචිකරු ඉඩමෙන් ඉවත් විය යුතු බවට තීන්දුවක්‌ දුන්නේය. එවිට සෝලෙයිමුත්තු රාසු නමැති මෙම පුද්ගලයා මධ්‍යම පළාතේ මහ අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කරමින් මහෙස්‌ත්‍රාත් උසාවියේ නියෝගය නිශ්ප්‍රභා කරන මෙන් ඉල්ලා සිටියේය. එවිට රාජ්‍ය වැවිලි සංස්‌ථාව මධ්‍යම පළාතේ මහ අධිකරණය වෙත 1996 පෙබරවාරි මාසයේදී කරුණු දක්‌වමින් පවසා සිටියේ අදාළ ඉඩම රජයේ ඉඩමක්‌ බවත් එහි සිටින අනවසර පදිංචිකරුට ඉන් ඉවත්වන මෙන් නොතීසි නිකුත් කර ඇත්තේ රජයේ ඉඩම් (භුක්‌තිය පවරා ගැනීමේ) 1979 අංක 7 දරන පනත යටතේ බවත් එම නිසා මෙකී අනවසර පදිංචිකරුට මහ අධිකරණය වෙත ඒ සම්බන්ධයෙන් පෙත්සමක්‌ ඉදිරිපත් කිරීමට අයිතියක්‌ නැති බවත්ය.

1979 අංක 7 දරන රජයේ ඉඩම් (භුක්‌තිය නැවත පවරා ගැනීමේ) පනත ඉතාමත්ම ප්‍රායෝගික නීතියකි. ඕනෑම රජයේ ආයතනයකට තමා යටතේ පවතින රජයේ ඉඩමක අනවසරයෙන් පදිංචිවී සිටින ඕනෑම කෙනකුට ඉන් ඉවත්වන්නැයි කියමින් නොතීසියක්‌ නිකුත් කළ හැක. එවිට අනවසර පදිංචිකරු එම ඉඩමෙන් මසක්‌ ඇතුළත ඉවත් විය යුතුය. ඔහු ඉවත් වූයේ නැත්නම් අදාළ රජයේ ආයතනයට මහෙස්‌ත්‍රාත් උසාවියේ නඩුවක්‌ ගොනු කළ හැක. කරුණු විමසීමෙන් පසු මහෙස්‌ත්‍රාත්වරයාට අදාළ පුද්ගලයාව ඉඩමෙන් ඉවත් කිරීමේ නියෝගයක්‌ නිකුත් කළ හැකි අතර එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වුවහොත් බලහත්කාරය යෙදවීමට ද පොලිසියට එම පනතින්ම බලය පවරා ඇත. එමෙන්ම මෙවැනි කාරණයක්‌ සම්බන්ධයෙන් මහෙස්‌ත්‍රාත්වරයා නිකුත් කරන ඉවත් කිරීමේ නියෝගයකට එරෙහිව ඉහළ උසාවියකට ඇපෑලක්‌ ඉදිරිපත් කිරීමට ද නොහැක. 1979 අංක 7 දරන රජයේ ඉඩම් (භුක්‌තිය නැවත පවරා ගැනීමේ) පනතේ මෙකී විධිවිධාන පමණක්‌ වුවත් රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ නඩුව ජය ගැනීමට ප්‍රමාණවත් විය.

නමුත් රාජ්‍ය වැවිලි සංස්‌ථාව මධ්‍යම පළාත් මහ අධිකරණය වෙත ගොස්‌ එම අධිකරණයට මෙකී නඩුව ඇසීමට බලයක්‌ නැතැයි කියමින් මූලික විරෝධතා ගොනු කළ අවස්‌ථාවේදී ඔවුන් කියා සිටි තවත් කාරණයක්‌ වූයේ රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා බලතල ලැයිස්‌තුවට ඇතුළත් නොවන නිසා මධ්‍යම පළාත් මහ අධිකරණයට රජයේ ඉඩම් සම්බන්ධ නඩුවක්‌ ඇසීමට බලය නැති බවයි. (ඇත්තවශයෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඇති පළාත් සභා බලතල ලැයිස්‌තුවේ "රජයේ ඉඩම්" පළාත් සභාව යටතට එන බවක්‌ කොතැනකවත් සඳහන් වන්නේ නැත.) මධ්‍යම පළාත් මහ අධිකරණය අවුරුදු කිහිපයක්‌ මෙම නඩුව ඇසීමෙන් පසු 2000 නොවැම්බර් මාසයේදී තීන්දු කර සිටියේ රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා යටතට වැටෙන්නේ නැති නිසා එකී අධිකරණයට සෝලෙයිමුත්තු රාසු නමැති මෙම අනවසර පදිංචිකරුගේ පෙත්සම ඇසීමට බලයක්‌ නැති බවයි. ඊට ටික දිනකට පසු සෝලෙයිමුත්තු රාසු මධ්‍යම පළාත් මහ අධිකරණයේ තීන්දුවට එරෙහිව ඇපැල් උසාවියේ නඩුවක්‌ ගොනු කළේය. ඇපැල් උසාවිය ද අවුරුදු 12 ක පමණ කාලයක්‌ මුළුල්ලේ මෙම නඩුව ඇසීමෙන් පසු 2012 අගෝස්‌තු මාසයේදී තීන්දුවක්‌ ලබාදුන්නේය. එම තීන්දුවෙන් කියවුණේ රජයේ ඉඩම් නමැති විෂය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුව යටතට වැටෙන නිසා පළාත්බද මහ අධිකරණ වලට රජයේ ඉඩම් සම්බන්ධ නඩු ඇසීමට බලයක්‌ තිබෙන බවයි.

ඇපැල් උසාවියේ මේ තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමගම රාජ්‍ය වැවිලි සංස්‌ථාව ශේ්‍රෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ ඇපැල් උසාවියේ මේ තීන්දුව නිශ්ප්‍රභා කරන ලෙසය.

පසුගිය සතියේ අග විනිසුරු මොහාන් පීරිස්‌, විනිසුරු කේ. ශ්‍රීපවන් හා විනිසුරු ඊවා වනසුන්දර නමැති තුන් කට්‌ටුව විසින් වෙන වෙනම නඩු තීන්දු තුනක්‌ ප්‍රකාශයට පත් කරමින් ඉතා පැහැදිලිව සඳහන් කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනයට අනුව රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවට අයත් විෂයක්‌ මිස පළාත් සභාවලට අයත් විෂයක්‌ නොවන බවයි. ඔවුන් මෙම තීන්දුව සනාථ කිරීමට ගෙන හැර දැක්‌වූ කරුණු පහත සඳහන් ආකාරයට සම්පිණ්‌ඩනය කළ හැක.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ "රජයේ ඉඩම් හා මුහුදු වෙරළ" යන්න ඉතා පැහැදිලිව සඳහන් කර ඇත. (මේ ආකාරයට රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ පැහැදිලිව සඳහන් වුවද එවැන්නක්‌ පළාත් සභා ලැයිස්‌තුවේ සඳහන් වන්නේ නැත.)
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154 (ජී) (7) වගන්තියට අනුව මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ ඇති කිසිදු විෂයක්‌ සම්බන්ධයෙන් පළාත් සභාවකට නීති සම්පාදනය කිරීමට නොහැකි බව කියවෙයි. ඒ අනුව පළාත් සභාවලට "රජයේ ඉඩම් හා මුහුදු වෙරළ" සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක්‌ ගත නොහැක.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් සම්බන්ධයෙන් කාරණා සඳහන් වන දෙවන උපලේඛනයේ ආරම්භක වාක්‍යයෙන් කියවෙන්නේ රජයේ ඉඩම් ජනරජයට අයිති බවත් එම ඉඩම් පැවරීම කළ හැක්‌කේ ජනාධිපතිවරයාට පමණක්‌ බවත්ය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 (ඩී) වගන්තියෙන් රජයේ ඉඩම් පැවරීම ජනාධිපතිවරයාට අයිති බලයක්‌ බව තහවුරු කර ඇත. එම නිසා රජයේ ඉඩම් සම්බන්ධ සියලු බලතල අයත් වන්නේ ජනරජයට මිස පළාත් සභාවලට නොවේ.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුවේ 18 වන විෂය "ඉඩම්" වුවත් එහි සඳහන් වන පරිදි පළාත් සභාවලට අයිති ඉඩම් බලතල කාරණා කීපයකට පමණක්‌ සීමා වෙයි. එනම් ඉඩම් පිළිබඳ අයිතීන් යන කාරණය, ඉඩම් මත පදිංචි කරවීම, ඉඩම් පැවරීම, ඉඩම් භාවිතය හා සංවර්ධනය යන කාරණාය. නමුත් මේ බලතල ක්‍රියාත්මක කිරීම ද මධ්‍යම ආණ්‌ඩුවට අයත් බලතල ලැයිස්‌තුවට අනුකූලව සිදුවිය යුතු බව පළාත් සභා ලැයිස්‌තුවේ අංක 18 දරන මෙකී ඉඩම් පිළිබඳ වාක්‍යයෙන්ම කියවෙයි. එමෙන්ම පළාත් සභා ලැයිස්‌තුවේ අංක 18 දරන ඉඩම් පිළිබඳව මේ ඡේදයෙන් පෙන්නුම් කරන පරිදි එම ඡේදයේ සඳහන් කාරණා සම්බන්ධයෙන් පමණක්‌ පළාත් සභා වලට බලතල ඇති බවත් ඉන් ඔබ්බට කිසිදු බලයක්‌ ඔවුන්ට හිමිවිය යුතු නැති බවත් පැහැදිලි වේ. එනම් පළාත් සභා වලට ඉඩම් සම්බන්ධයෙන් ඇති බලතල, ඉඩම් අයිතිය යන කාරණාද (මෙයින් අදහස්‌ වන්නේ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැන්නක්‌ බව පැහැදිලිය) පදිංචි කරවීම, ඉඩම් පැවරීම, භාවිතය හා සංවර්ධනය යන කාරණා පමණි.
  •  13 වන සංශෝධනයේ "රජයේ ඉඩම්" හා "ඉඩම්" යන්න තැන් දෙකක සඳහන් වෙයි. ඒ අතරින් සමස්‌ත රජයේ ඉඩම් ගැන සඳහන් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවේ බලතල ලැයිස්‌තුවේ පමණි. පළාත් සභා වලට අවශ්‍ය වුවහොත් ඉඩම් ලබාදෙන්නේ මේ මධ්‍යම ආණ්‌ඩුවට අයත් ඉඩම් සංචිතයෙනි. රජයේ ඉඩම් නමැති විෂය පළාත් සභා වලට පවරා නොතිබීමෙන් ජන රජයට අයත් ඉඩම් පළාත් සභාවලට නොපැවරීමේ ෙච්තනාව පිළිබිඹු කරයි.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවන උපලේඛනයේ 1.1 ඡේදයට අනුව පළාත් සභා බල ප්‍රදේශයක්‌ තුළ මධ්‍යම ආණ්‌ඩුවට ඔවුන්ට සම්බන්ධ විෂයක්‌ සඳහා රජයේ ඉඩමක්‌ භාවිත කිරීමට අවශ්‍ය වුවහොත් ඔවුන් ඒ සම්බන්ධයෙන් අදාළ පළාත් සභාව "කන්සලට්‌" කළ යුතු බව කියවෙයි. "කන්සල්ට්‌" යන වචනයෙන් අදහස්‌ වන්නේ විමසා සිටීමක්‌ යෑයි දළ වශයෙන් කිව හැක. අගවිනිසුරු මොහාන් පීරිස්‌ මහතා පැහැදිලි කලේ "කන්සල්ට්‌" යන වචනයෙන් පළාත් සභාවේ "අනුමැතිය" ගතයුතු බවත් අදහස්‌ වන්නේ නැති බවයි. එමෙන්ම මේ ආකාරයට පළාත් සභාව කන්සල්ට්‌ කළ යුතු යෑයි කියා තිබුණත් රජයේ ඉඩම් අයත් වන්නේ ජනරජයට යන කාරණය ඉන් වෙනස්‌ වන්නේ නැත.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවැනි උපලේඛනයේ 1.2 ඡේදයට අනුව යම් කිසි පළාත් සභාවකට එම පළාත් සභාවට අදාළ යම් කිසි කාරණයක්‌ සඳහා රජයේ ඉඩමක්‌ අවශ්‍ය වුවහොත් එම ඉඩම ඔවුන්ට ලබාදිය යුත්තේ මධ්‍යම ආණ්‌ඩුව විසිනි. පළාත් සභාවකට රජයේ ඉඩමක්‌ පාලනය කිරීමට හා භාවිත කිරීමට බලයක්‌ ලැබෙන්නේ ඔවුන්ට එම ඉඩම මධ්‍යම ආණ්‌ඩුවෙන් පවරා දුන් පසුව පමණි. රජයේ ඉඩම් පළාත් සභා යටතට වැටෙන්නේ නැති බවට එයින්ද පැහැදිලිය.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ දෙවන උපලේඛනයේ 1.3 ඡේදයට අනුව යම්කිසි පළාත් සභා බල ප්‍රදේශයක්‌ තුළ තිබෙන රජයේ ඉඩමක්‌ රටේ පුරවැසියකුට හෝ ආයතනයකට පවරා දීමට බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එසේ කළ යුත්තේ පළාත් සභාවේ උපදෙස්‌ මත බව යෑයි සඳහන් වුවද පළාත් සභාවක්‌ විසින් දෙන එකී උපදෙස්‌ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින්නේ නැත. (ජනාධිපතිවරයාට යම් පළාත් සභා බල ප්‍රදේශයක්‌ තුළ තිබෙන රජයේ ඉඩමක්‌ තමාට කැමති අයෙකුට පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස්‌ මත "පමණක්‌" යෑයි කොතැනකවත් සඳහන් වන්නේ නැත. ජනාධිපතිවරයාට මෙසේ ඉඩම් පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස්‌ මත "පමණක්‌" යෑයි කියා නැති වාතාවරණයක්‌ තුළ ජනාධිපතිවරයාට ඉඩම් පැවරිය හැක්‌කේ පළාත් සභාවේ උපදෙස්‌ මත පමණක්‌ යෑයි කියා ව්‍යවස්‌ථාවේ ලියා නැති නීතියක්‌ නීතිගත කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලිවම ප්‍රතික්‍ෂේප කර ඇත.) මේ සම්බන්ධයෙන් පළාත් සභාවක්‌ දෙන උපදෙස්‌ බාර ගැනීමට ජනාධිපතිවරයා බැඳී නොසිටින නිසා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 33 (ඩී) වගන්තිය අනුව රජයේ ඉඩම් ඕනෑම කෙනෙකුට පැවරීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය කිසිදු සීමා කිරීමකින් තොරව පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වෙයි.
  •  ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ දෙවන උපලේඛනයේ තුන්වන ඡේදයට අනුව ජාතික ඉඩම් කොමිසමක්‌ තිබිය යුතු අතර රජයේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරනු ඇත්තේ මේ ජාතික ඉඩම් කොමිසම විසිනි. පළාත් සභාද මේ ජාතික ඉඩම් කොමිසමෙන් සම්පාදනය වන ප්‍රතිපත්තීන් වලට අනුකූල විය යුතුය. මෙයින්ද පැහැදිලි වන්නේ රජයේ ඉඩම් මධ්‍යම ආණ්‌ඩුවේ විෂයක්‌ මිස පළාත් සභා වල විෂයක්‌ නොවන බවයි.
  •  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ශ්‍රීපවන්, හිටපු විනිසුරු මාක්‌ ප්‍රනාන්දු දුන් තීන්දුවක්‌ උපුටා දක්‌වමින් පවසා සිටියේ යම්කිසි විෂයක්‌ අයත් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවේ ලැයිස්‌තුවටද නැතිනම් පළාත් සභාවේ ලැයිස්‌තුවටද යන්න එම ලැයිස්‌තු දෙස බැලීමෙන් පමණක්‌ තීන්දු කළ නොහැක. අදාළ ලැයිස්‌තුවල විෂයයන් විස්‌තර කර ඇති ආකාරය සම්පූර්ණ නොවීමට ඉඩ ඇත. එම නිසා උසාවිය හැමවිටම මධ්‍යම ආණ්‌ඩු ලැයිස්‌තුවේත් පළාත් සභා ලැයිස්‌තුවේත් සමගාමී ලැයිස්‌තුවේත් ඇති විෂයන් එකිනෙකා සමඟ ගැටෙන්නේ නැති ආකාරයට නිර්වචනය කළ යුතු බව පවසා සිටියේය.
  •  එමෙන්ම ශ්‍රීපවන් විනිසුරුතුමා පෙන්වා දුන් තවත් කාරණයක්‌ වූයේ ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ ඉඩම් පිළිබඳ දෙවැනි උපලේඛනයේ සඳහන් ආකාරයට ජනාධිපතිවරයා යම්කිසි පළාත් සභා ප්‍රදේශයක්‌ තුළ තිබෙන රජයේ ඉඩමක්‌ තමාට කැමැති අයෙකුට පැවරීමේදී පළාත් සභාවෙන් දෙන උපදෙස්‌ පිළිපැදීමට බැඳී නොසිටියත් ඔහු පාර්ලිමේන්තුවෙන් සම්පාදනය කර ඇති නීතිවලට පමණක්‌ අනුකූලව එම පැවරීම සිදුකළ යුතුය. ශ්‍රීපවන් විනිසුරුතුමා එයින් ගම්‍ය කර ගත්තේ පළාත් සභාව යනු පාර්ලිමේන්තුවට පහළින් පිහිටි සීමිත ව්‍යවස්‌ථාදායක බලයක්‌ පමණක්‌ ඇති ආයතනයක්‌ බවයි.
  •  විනිසුරු ඊවා වනසුන්දර මහත්මියද සඳහන් කර සිටියේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන පරිශිෂ්ටයේ පළාත් සභා බලතල ලැයිස්‌තුවේ 18 වන ඡේදයෙන් "ඉඩම්" ගැන සඳහන් වුවද ඒ යටතට "රජයේ ඉඩම්" අයත් නැති බව පැහැදිලි වන බවයි. එතුමියගේ මතය වූයේද රජයේ ඉඩම් ජනරජයට පමණක්‌ අයිති බවත් මේ ඉඩම් පැවරීමට ජනාධිපතිවරයාට ඇති බලතල කිසිදු ආකාරයකින් සීමා කර නැති බවයි.
දෙමළ ජාතික සන්ධානයේ ඉඩම් බලතල පිළිබඳ සිහිනය බොඳ වී ගියේ ඒ ආකාරයටය. මෙහි වඩාත්ම සැලකිය යුතු කාරණය වන්නේ 13 වන සංශෝධනයට අනුවම රජයේ ඉඩම් සහමුලින්ම අයත් වන්නේ මධ්‍යම ආණ්‌ඩුවට බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබීමයි. උතුරු පළාත් සභාව දිවුරුම් දීමට ඔන්න මෙන්න තියා තිබියදී අහඹු සිද්ධියක්‌ ලෙස මෙවැනි තීන්දුවක්‌ ප්‍රකාශයට පත්වීම සැබවින්ම දෛවෝපගතය. උතුරේ මහ ඇමැති ධුරයට පත්වීමට නියමිත සී. වී. විග්නේශ්වරන් මහතාද මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාරයකු වීමද දෛවෝපගත සංසිද්ධියක්‌ බව කිව හැක.

සී. ඒ. චන්ද්‍රප්‍රේම - වම් ඉවුර
http://www.divaina.com/2013/09/30/feature01.html

සබැඳි ලිපි -
[
රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5504.htmlපලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.html
]

චීනයේ වසරකට ළමුන් හා ගැහැනුන් 24,000 ක්‌ පැහැරගැනේ

පැහැරගනු ලැබූ දරුවන් 91 දෙනකු චීන පොලිසිය මගින් දෙනකු සොයාගෙන ඇත.

එරට ප්‍රාන්ත 11 ක කරනු ලැබූ මෙහෙයුමකින් පසු මෙම දරුවන් 91 දෙනා සොයාගෙන ඇති අතර මීට සම්බන්ධ සැකකරුවන් 301 ක්‌ද සොයාගෙන ඇත. දරුවන් පැහැර ගැනීම චීනයේ ජාතික ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබේ. පසුගිය වසරේදී පැහැරගනු ලැබූ ළමුන් හා ගැහැනුන් 24,000 ක්‌ පොලිසිය මගින් බේරාගෙන ඇත.

http://www.divaina.com/2013/09/30/forign04.html

මුම්බායි නගරයේ පස්‌මහල් ගොඩනැඟිල්ලක්‌ කඩා වැටෙයි. 54ක්‌ මරුට.


මුම්බායි නගරයේ පස්‌මහල් ගොඩනැඟිල්ලක්‌ කඩා වැටීම නිසා මියගිය පිරිස 54 දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

මේ අනතුර නිසා තුවාල ලැබූ පිරිස 32 දක්‌වා ඉහළ ගොස්‌ ඇත. 

මෙම ගොඩනැඟිල්ලේ අයිතිකරු වන අශෝක්‌ මේතා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය අයට ලක්‌ෂ දෙක බැගින් වන්දි ලබාදෙන බව මහරාෂ්ට්‍ර ප්‍රාන්ත ආණ්‌ඩුව ප්‍රකාශ කර ඇත.

http://www.divaina.com/2013/09/30/forign02.html

ගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'

මහවැලි ජලයෙන් ගොවිතැන් කෙරෙන කලාපයක්‌ වන දෙහිඅත්තකණ්‌ඩියේ 'වකුගඩු මාවත' නමැති පාරක්‌ තිබේ. මේ හැර දෙපස තිබෙන හැම ගෙදරකම පාහේ අවම වශයෙන් වකුගඩු රෝගී එක්‌ අයෙක්‌වත් වෙයි. වකුගඩු මාවත යන නම තබන ලද්දේ දෙහිඅත්තකණ්‌ඩිය ප්‍රාදේශීය සභාව නොව ප්‍රදේශවාසී ජනයා ය. එය අපහාසයට තබන ලද නමක්‌ නොව කෝපය සහ විරෝධය පෙන්වීම සඳහා තැබූවකි.

ශ්‍රී ලංකාවේ රජරට වකුගඩු රෝග බහුල වීමට හේතුව මෑතක්‌ වනතුරුම මතභේදයට ලක්‌වූවකි. එයට, ආසනික්‌ වගකිව යුතු යෑයි එක්‌ කණ්‌ඩායමක්‌ කියූ අතර එසේ නොවේ යෑයි තව කණ්‌ඩායමක්‌ කීය. අන්තිමේදී ආසනික්‌ කණ්‌ඩායම සහ එසේ නොවන කණ්‌ඩායම ගහ මරා ගන්නා තත්ත්වයක්‌ උද්ගත විය. ඒ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මේ ගැන පර්යේෂණයක්‌ කළේය. පර්යේෂණ වාර්තාවට අනුව හෙළි වූයේ මෙරට වකුගඩු රෝගීන්ගෙන් 88% කගේ මුත්‍ර සාම්පල තුළ ආසනික්‌/ කැඩ්මියම් තිබූ බව ය. එම රෝගීන් එදිනෙදා පරිහරණය කරන ජලයෙන් 99% ක ප්‍රමාණයක්‌ තුළ 'බැර' තත්ත්වයක්‌ විය. එහි තේරුම එම ජලය තුළ ලෝහමය විස පවත්නා බව ය. (න්‍යෂ්ටික බලාගාරවලින් නිකුත් කරන බැර ජලය සහ ආසනික්‌/ කැඩ්මියම් විස පවත්නා බැර ජලය අතර විශාල වෙනසක්‌ ඇත. මේ දෙක පටලවා නොගත යුතු ය.)

ලංකාවේ වකුගඩු රෝගවලට ආසනික්‌ වගකිවයුතු බව මුලින්ම කියන ලද්දේ ඒ ගැන පර්යේෂණයක්‌ කළ මහාචාර්ය නලින් ද සිල්වාගේ කණ්‌ඩායම ය. එහෙත් ඔහුගේ දත්ත මූලය විඥනවාදී යෑයි කියූ ආසනික්‌ නොවන කණ්‌ඩායම වකුගඩු රෝගයට පිළියම් යෙදීම පසෙක තබා ඔහුට පහරදීමට පටන් ගත්හ. දත්ත මූලය විඥ්ඥනවාදී වේවා භෞතිකවාදී වේවා එයින් කියෑවෙන්නේ ඇත්ත නම් මක්‌ වුණාම මොකද? එහෙත් අපි හේතුව ගැන නොව පලය ගැන පමණක්‌ විමසන ජාතියක්‌ වෙමු. ඒ නිසා නලින් සිල්වාට 'කෙළීමේ' න්‍යාය පත්‍රය උඩ ආවේය. ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන අතර වකුගඩු රෝගය යළි යළිත් පැතිර ගියේය.

වකුගඩු යනු ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියකි. නෆ්රෝන් නමැති ඉතා කුඩා නළ තිස්‌ ලක්‍ෂයක්‌ වකුගඩු දෙක තුළ තිබේ. මේවායින් කෙරෙන්නේ රුධිරයේ ඇති අපද්‍රව්‍ය වෙන් කර මුත්‍ර මාර්ගයට එක්‌ කිරීම ය. එහෙත් වකුගඩු නරක්‌ වූ විට එම ක්‍රියාවලිය සිදුවන්නේ නැත. එවිට ශරීරයෙන් බැහැර විය යුතු විෂ සහිත කොටස්‌ රුධිරය සමඟ එකතු වී ඇඟ පුරාම පැතිර යයි. චර්ම රෝගවල සිට අට අනූවක්‌ රෝග මේ මගින් හට ගනියි. සාමාන්‍යයෙන් කෙනකුට නිරෝගී ජීවිතයක්‌ ගතකිරීමට අවශ්‍ය වන්නේ නෆ්රෝන් දශලක්‍ෂයක්‌ පමණි. වකුගඩු නරක්‌ වීම යනුවෙන් හඳුන්වන්නේ එම දශ ලක්‍ෂය පමණක්‌ නොව අමතර නෆ්රෝන විසි ලක්‍ෂය ද නරක්‌ වීම ය.

කසිප්පුකාරයන්ට, මත්පැන් පානය කරන වෙනත් බේබද්දන්ට ද වකුගඩු රෝග සැදෙයි. එය තමන් කරන එකී පවු උදෙසා ස්‌වභාවධර්මය ඔවුන්ට ලබාදෙන දඬුවමක්‌ ලෙස සලකා හිත හදා ගැනීමට හැකි ය. එහෙත් රජරට අසරණ ජනයාට වකුගඩු රෝග වැළඳීම නම් ඉතාම අසාධාරණ ය. ඔවුන්ගේ සිරුරු තුළට කැඩ්මියම් සහ ආසනික්‌ යන්නේ කුඹුරුවලට ඉසින කෘමි නාශකවලින් බව අපි දැනටමත් දනිමු.

අප ඉහත සඳහන් ඡේද කිහිපය ලියන ලද්දේ වකුගඩු කොමිසමක්‌ පත්කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරි සංගමය කළ ඉල්ලීමක්‌ දැකීමෙනි. මේ කොමිසම සාක්‍ෂි විභාග කර, වාර්තා සාදා ඒවා බලධාරීන්ට ඉදිරිපත් කරන විට දැනට සිටින වකුගඩු රෝගීන්ගෙන් 75% ක්‌ ඉවරය. ඒ නිසා කෙරෙන යමක්‌ ගැන කතා කරමු.

දිවයින කතුවැකිය - http://www.divaina.com/2013/09/30/editor.html

සබැඳි ලිපි -
[
වකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික්‌ - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.html
]

ටෙලිග්‍රෑම් වෙනුවට 'ටෙලිමේල්' හෙට සිට

තැපැල් විදුලි පණිවුඩ සේවාව හෙට සිට නිල වශයෙන් අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

මේ අනුව තැපැල් දෙපාර්තමේන්තුවට අයත් රට පුරා පිහිටි තැපැල් කාර්යාල කිසිවක්‌ හෙට සිට විදුලි පණිවිඩ යෑවීමට ජනතාවගෙන් භාර නොගන්නා බව තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතා ඊයේ "දිවයින"ට පැවසීය.

1858 දී කොළඹත්-ගාල්ලත් අතර මුලින්ම විදුලි පණිවුඩ සේවාව ආරම්භ වී ඇත්තේ ආණ්‌ඩුකාර සර් හෙන්රි ජෝර්ඡ්ගේ පාලනය කාලයේදීය.

විදුලි පණිවුඩ සේවාව අහෝසි වීමත් සමග 'ටෙලිමේල්' සේවාව ඒ සඳහා විකල්පයක්‌ ලෙස හෙට සිට ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

ප්‍රියදර්ශන ලියනගේ 
http://www.divaina.com/2013/09/30/news21.html

මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීමේ සම්ප්‍රදාය කැඩීම - මස්සිනාගේ ලොකුකමට වාසු සතුටුවෙයි

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට එකඟවීම උතුරත් ජනාධිපතිවරයා යටතේ පවතින බවට පෙන්වීමට හොඳ සාක්‌ෂියක්‌ යෑයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා ඊයේ (29 වැනිදා) පැවසීය. දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගැනීම පිළිබඳව තමා සතුටු වන බවද ඒ මහතා කීවේය.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මන්ත්‍රීවරුන් හා උතුරු පළාත් මහ ඇමැතිවරයා ජනාධිපතිවරයා හමුවේ දිවුරුම්දීම උතුරේ සංවර්ධන කටයුතු සිදුකිරීමේදී දෙමළ ජාතික සන්ධානයට මධ්‍යම රජයේ සහාය ලබාගැනීමේ හොඳ අවස්‌ථාවක්‌ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට පළාත් අටක මහ ඇමැතිවරුන් ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කරන බවත් ඉදිරියේදී උතුර පළාත් මහා ඇමැතිවරයාද ජනාධිපතිවරයා සමග සුහදව කටයුතු කරන බවට දිවුරුම් දීමෙන් පසු දැක ගන්නට හැකිවනු ඇති බවත් ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

චමින්ද සිල්වා 
http://www.divaina.com/2013/09/30/news02.html

කතෲ සටහන -
මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එය බිඳ, ජනපති යාපනයට කැඳවා ඔහු ඉදිරියේ දිවුරුම් දෙන බව පැවසීම, අධිමානයකි. අමුතු ආඩම්බර කමකි. මෙය යාපනයේ ඇතැම් දමිළ කුලයන් අතර තිබෙනා මහන්තත්වයකි. පොන්නම්බලම් රාමනාදන්, සිංහල, දමිළ, මුස්ලිම් සියළු ජනයාගේ නායකයා ලෙස පෙනීසිටිමේ සිට, චෙල්වනායගම්ගේ 50-50 (පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් 50%ක් දමිළයන්ට සහ ඉතිරි 50%, සිංහල, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමට) යෝජනාවේ සිටම, පැවත එන්නකි. ජනපති නිලයට නිගරු කිරීමකි. ඔහුට අවැසි නම් ආණ්ඩුකාරවරයා ඉඳිරියේ දිවුරා, ජනපති මන්දිරයට පැමිණ ජනපති හමුවිය හැක. නමුත් මහඇමතිකමේ දිවුරුම් දීම සඳහා ජනපති යාපනයට කැඳවිය නොහැක.

' - දෙනෙත් හරින්න! - අපි '


සබැඳි ලිපි -
[
විග්නේශ්වරම්ට අමුතු සම්ප්‍රදායක්. ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා.http://denethharinna.blogspot.com/2013/09/blog-post_5103.html
]

චතුර පමුණුවගේ 'බොදු අභියෝග' ග්‍රන්ථය ජනගත කිරීම අද

දිවයින පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘවරයකු වන චතුර පමුණුව මහතා විසින් රචනා කරන ලද බොදු අභියෝග ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවය අද (30 වැනිදා) සවස 3.30 ට කොළඹ පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

චතුර පමුණුව මහතාගේ සිව්වැනි ග්‍රන්ථය වන මෙම ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේදී බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමිපාණන් හා ඇමැති පාඨලී චම්පික රණවක මහතා විශේෂ දෙසුම් පවත්වති.

වර්තමාන බෞද්ධයා මුහුණදෙන අභියෝග පිළිබඳව චතුර පමුණුව මහතා විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථය මගින්, ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලොව පුරා බෞද්ධයන්ට මුහුණදීමට ඇති ප්‍රශ්න අභියෝග ගැන මනාව හෙළිකර තිබේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
http://www.divaina.com/2013/09/30/news06.html

සෝරත නාහිමියන්ට ගෞරව දැක්‌වීමට ජන ගඟක්‌

අපවත් වී වදාළ කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත හිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට කතරගම කිරිවෙහෙර විහාරස්‌ථානයේ මහජන ගෞරවය සඳහා තැන්පත්කර ඇත.

27 දා සවස සෝරත හිමියන්ගේ දේහය කිරිවෙහෙර විහාරස්‌ථානයට වැඩමවූ අතර ගෞරව බුහුමන් දැක්‌වීම පිණිස මේවනවිට මහජනයා විශාල පිරිසක්‌ පැමිණ සිටිති.

තිස්‌සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන හිමියන්, සිතුල්පව්ව විහාරාධිපති ශාස්‌ත්‍රපති මැටරඹ හේමරතන හිමියන්, කතරගම අභිනවාරාමාධිපති ශාස්‌ත්‍රපති කපුගම සරණතිස්‌ස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටි අතර ඌව පළාත් ප්‍රධාන ඇමැති හා කතරගම දේවාලයේ බස්‌නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිනී සුමේධා ජයසේන, පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක්‌ පැමිණ සිටියහ.

කතරගම - කේ. ඩී. දේවප්‍රිය
http://www.divaina.com/2013/09/30/news04.html

විග්නේශ්වරම්ට අමුතු සම්ප්‍රදායක්. ආණ්‌ඩුකාර ඉදිරියේ දිවුරුම් දීමට නොහැකියි. ජනපති යාපනයට ආවොත් ඔහු ඉදිරියේ දිවුරුම් දෙනවා.

උතුරු පළාතේ නව මහ ඇමැති ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේශ්වරන් මහතා ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමේ උත්සවය යාපනයේදී පැවැත්වීමට නියමිතය. එම උත්සවය සඳහා ජනපතිවරයාට එහි පැමිණෙන ලෙස ආරාධනා කිරීමට ද දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා ඉදිරිපිට දිවුරුම් දීමට තමන් සූදානම් නැති බව දෙමළ ජාතික සන්ධානය මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා නිව්යෝක්‌ සංචාරයෙන් අනතුරුව මෙරටට පැමිණි පසු මේ ගැන සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇත.

උතුරු පළාතේ නව අමාත්‍ය මණ්‌ඩලය නම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්‌ අද (30 දා) පැවැත්වීමට නියමිතය.

කල්මුණේ වාර්තාකරු
http://www.divaina.com/2013/09/30/news01.html

කතෲ සටහන -
මහ ඇමතිවරු ආණ්ඩුකාරවරු ඉදිරියේ දිව්රීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එය බිඳ, ජනපති යාපනයට කැඳවා ඔහු ඉදිරියේ දිවුරුම් දෙන බව පැවසීම, අධිමානයකි. අමුතු ආඩම්බර කමකි. මෙය යාපනයේ ඇතැම් දමිළ කුලයන් අතර තිබෙනා මහන්තත්වයකි. පොන්නම්බලම් රාමනාදන්, සිංහල, දමිළ, මුස්ලිම් සියළු ජනයාගේ නායකයා ලෙස පෙනීසිටිමේ සිට, චෙල්වනායගම්ගේ 50-50 (පාර්ලිමේන්තුවේ නියෝජනයෙන් 50%ක් දමිළයන්ට සහ ඉතිරි 50%, සිංහල, මුස්ලිම්, බර්ගර් ඇතුළු සැමට) යෝජනාවේ සිටම, පැවත එන්නකි. ජනපති නිලයට නිගරු කිරීමකි. ඔහුට අවැසි නම් ආණ්ඩුකාරවරයා ඉඳිරියේ දිවුරා, ජනපති මන්දිරයට පැමිණ ජනපති හමුවිය හැක. නමුත් මහඇමතිකමේ දිවුරුම් දීම සඳහා ජනපති යාපනයට කැඳවිය නොහැක.

' - දෙනෙත් හරින්න! - අපි '

ඉඩම් අයිතිය පළාත් සභාවටයි… ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්න බෑ

පළාත් සභා වල ඉඩම් අයිතිය සම්බන්ධයෙන් මීට පෙර දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු මගින් පළාත් සභාවලට ඉඩම් අයිතිය ඇති බවට තීරණය කොට ඇති බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කරයි.

එහෙත් අලුත්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ඉඩම් අයිතිය ඇත්තේ මධ්‍යම රජයට බවත් එම තීන්දුව මීට කලින් දී ඇති නඩු තීන්දුවලට පටහැණි බවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

“පළාත් සභාවලට බලය තියෙනවා කියල කියල තියෙන්නේ. බලය නැහැ කියල නැහැ” යනුවෙනුයි කලින් දී ඇති නඩු තීන්දු ගැන සඳහන් කරමින් ඔහු කියා සිටියේ.

මේ නිසා ඒ සම්බන්ධයෙන් ගත හැක්කේ කුමන ක්‍රියා මාර්ගයක් ද යන්න ගැන තම පක්ෂය අවධානය යොමු කොට තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නයක් ආර්.සම්බන්ධන් සඳහන් කළේය.

අග විනිසුරු මොහාන් පීරිස් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දී ඇති නඩු තීන්දුව, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම සහ ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම මගින් අර්ථ ගැන්වෙන අයිතීන් අභිබවා යන බව ඔහු පෙන්වා දෙයි.

- BBC
http://lankacnews.com/sinhala/main-news/101882/

සබැඳි ලිපි -
[

රජයේ ඉඩම් අයිතිය පළාත් සභාවලට නෑ - ශ්‍රේෂ්ඨාධිකරණය ඓතිහාසික තීන්දුවකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_5504.htmlපලාත් සභාවලට ඉඩම් බලතල නෑ – ශ්‍රේෂ්ඨාධිකරණයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_26.html
]

මන්නාරමේ පන්සල්වලට තර්ජන. බුදු පිළිම 6ක් රේල්පාරේ ගසා කුඩු කරලා

මන්නාරම මුරුක්කන් පුරාණ විහාරයේ පිළිම හතරක් ඇතුළුව මුරුක්කන් ප‍්‍රදේශයේ පිළිම හයක් පසුගියදා කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් අසල දුම්රිය මාර්ගයේ සිල්පර කොටන් වල ගසා බිඳ දමා විනාශ කොට පළා ගොස් ඇති බව මන්නාරම මුරුක්කන් පොලීසිය පවසයි.

පසුගිය 25 වන දා රාත‍්‍රී 10.00ත් පසුදා පාන්දර 5.00ත් අතර කාලය තුළ කිසියම් පිරිසක් විහාරස්ථානයේ ස්ථාන 2ක තිබූ පිළිම 4ක් කඩා බිඳ දමා විනාශ කොට පළා ගොස් ඇති බවට මුරුක්කන් පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති වල්පොළ සරණ නා හිමියන් පොලීසිය වෙත පැමිණිලි කොට ඇත.

මුරුක්කන් පුරාණ රජ මහා විහාරස්ථානයේ බෝධි ප‍්‍රාකාරය වටා පිහිටි බුදු පිළිමයක්, විහාරස්ථානයේ පත්තිනි දේව මන්දිරයේ තිබූ බුද්ධ ප‍්‍රතිමා තුනක් මෙසේ විනාශ කොට තිබූ අතර, මීට අමතරව මන්නාරම නරිකාඩු ගම්මානයේ පිහිටි කුඩා බුද්ධ මන්දිරයේ පිළිමය හා මුරුක්කන් රෙට්ටකුලම ප‍්‍රදේශයේ කෝවිලක් ආසන්නයේ තිබූ බුද්ධ ප‍්‍රතිමාවක්ද කඩා බිඳ දමා ඇති පිළිම අතර ඇති බව මුරුක්කන් නරික්කාඩු ගම්වාසීහු පැවසූහ.

මේ පිළිබදව එම විහාරස්ථානයේ විහාරාධිපති වල්පොළ සරණ නා හිමියන්ගෙන් විමසීමේදී උන්වහන්සේ පැවසුවේ, රාතී‍්‍ර කාලයේ විහාර භූමියෙන් කිසියම් කුඩා ශබ්දයක් ඇසුණු නමුත් තමන් ඒ සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් නොදක්වා සැතපුණු බවත්, පාන්දර අවදි වී බලන විට විහාරස්ථානයේ බුද්ධ ප‍්‍රතිමා නොතිබූ බවත්ය.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එම ප‍්‍රතිමා විහාරස්ථානයට ඉදිරියෙන් ඇති අලූතින් ඉදිවන දුම්රිය මාර්ගයේ සිල්පර මත ගසා කඩා බිඳ දමා තිබූ අයුරු දැකගත් බවද උන්වහන්සේ පැවසූහ. වල්පොළ සරණ නාහිමියන් වැඩිදුරටත් පැවසුවේ මෙම සිදුවීම කවුරුන් විසින් සිදු කළේද යන්න සම්බන්ධයෙන් තමන් හරිහැටි නොදන්නා බවයි.

http://lankacnews.com/sinhala/news/101861/

දුම්වැටි විරෝධී සටන ජාතික අරගලයක් කරන සටනේ නායකයා මමයි - රටරටින් බිහිවූ දෙවන විශිෂ්ට මෛත්‍රීපාලයන්

දුම්කොළ සමාගම් වලට එරෙහිව තමන් ගෙනයන සටනේදී කිසියම් පුද්ගලයෙකු, බලවතෙකු මෙම ගැසට් නිවේදනය ගෙන ඒම කඩාකප්පල් කළහොත් එය ජාතික අරගලයක් දක්වා රැගෙන යාමට තමා ඉදිරිපත් වන බවත්, එම සටනට දිවි පරදුවට තබා නායකත්වය දීමට තමා පසුබට නොවන බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

දුම්වැටියට එරෙහිව රූපමය අවවාද ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක කළ ගැසට් නිවේදනය අද තාවකාලිකව අත්හිටුවා ඇතත්, ජනතාව දැනුවත් කරමින් රට පුරාම විවිධ වැඩසටහන් දියත් කරමින් දුම්වැටියට එරෙහිව සටන දිගටම යන බවද අමාත්‍යවරයා පවසයි.

හෙතෙම මේ අදහස් ප‍්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2013 ලෝක දුම්වැටි විරෝධී දින ජගත් සම්මානය හිමි වීම නිමිත්තෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලය,රජරට විද්‍යාලය හා පළුගස්දමන විද්‍යාලය යන විදුහල් ප‍්‍රමුඛව පොළොන්නරුවේ සියලූම පාසැල් එක්වී සංවිධානය කළ උත්සව සභාව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතා,

මුඛ පිළිකා රූප සටහන් යොදා සිගරට් පෙට්ටියේ,සෞඛ්‍ය අවවාද ඇතුළත් කිරීමට ගැසට් පත‍්‍රය සකස් කිරීමට මා ගත් තීරණය සමග එවැන්නක් කරන බවට තොරතුරු අමාත්‍යංශයෙන් පිටතට ගිහින් තිබෙනවා. එතැන් පටන් දුම්කොළ කර්මාන්තකරුවන් පාර්ලිමේන්තුවට, මගේ ගෙදරට, අමාත්‍යංශයට එන්න හැදුවා. ඒත් මට ඔය ජාවාරම්කාරයෝ එක්ක කිසිම පයුරු පාසානයක් නැහැ. මම ඔවුන්ව ප‍්‍රතික්ෂේප කළා.

ලෝකයේ මිනිසුන් සතුටින් ඉන්න රටවල් 194ක් තිබෙන බව ජාත්‍යන්තර සංවිධානයක් මීට සති දෙකකට ප‍්‍රථම ප‍්‍රකාශයට පත්කර තිබුණා. මෙයින් ලංකාව ඉන්නේ 137වැනි ස්ථානයේ.

යම් විදියකින් මම ගැසට් නිවේදනය අත්හිටෙව්වා නම් මගේ දරු මුණුපුරන්ට විතරක් නෙවෙයි මගේ ඉදිරි පරම්පරා 15කට වුණත් ලෝකයේ අංක එක ස්ථානයේ යැයි පැවසෙන සතුටින්ම මිනිසුන් කල් ගෙවන රටක සියලූ සැප පහසුකමේ යස ඉසුරු මැද ජීවත් වෙන්න තිබුණා.නමුත් මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත බේරා ගැනීම මට ඊට වඩා වටිනවා.

මම ගමෙන් ආපු මිනිහෙක්. මේ බහු ජාතික සමාගම් එක්ක හැප්පෙන්න සමහර විට මට බැරි වේවි.ඒත් මම ආපසු හැරෙන්නේ නැහැ. මම ඉල්ලා සිටින්නේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා දුම් බීම අත්හරින්න. වෙළද පොළවල් වලින් ඉල්ලන්නේ දුම්වැටි අලෙවි කිරීම නවත්වන්න. හැම ගමක්ම දුම්වැටියෙන් තොර කලාප බවට පත් කරන්න කියලා” යැයිද පැවසීය.

September 28, 2013 at 10:26 am | lanka C news
http://lankacnews.com/sinhala/news/101814/

එජාපයත්, ජවිපෙත් හාන්සි කර සන්ධානය හිරිවැට්‌ටු ඡන්ද ප්‍රතිඵල | සීරුවෙන් සිටින්නැයි දකුණට කියන විග්නේශ්වරන්!


උතුරේ ඡන්ද ප්‍රතිඵලය ආණ්‌ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙත හා දේශපාලන සදාචාරය පිළිබඳ සාක්‌ෂියක්‌ ලෙස මේ වන විටත් සමහරු ඉදිරිපත් කරති. තවත් සමහරුන්ගේ මතය වී ඇත්තේ මෙම ප්‍රතිඵලය ආණ්‌ඩුවට පමණක්‌ නොව දකුණේ ජනතාවටද පාඩම් එකක්‌ නොව කීපයක්‌ම උගන්වා තිබෙන බවය. ඇත්තටම උතුරේ ජනතාව විසින් දෙන ලද තීන්දුව අප දැඩි අවධානයකින් විමසා බැලිය යුත්තකි. මේ ප්‍රතිඵලය උඩ දමමින් සිහින මවන දෙමළ ඊළාම්වාදීන්ට හෝ ජාත්‍යන්තරයේ හොර ගල් අහුලන මානව හිතවාදී වෙස්‌ මුහුණු කාරයන්ට හෝ මෙම ප්‍රතිඵලය දේශපාලන තුරුම්පුවක්‌ ලෙස භාවිත කිරීමට කිසිම අවස්‌ථාවක්‌ නොදිය යුතු බවද කිව යුතුය.

ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්‍ෂ පාලනයේ සංවර්ධන ක්‍රියාවලියේ අර්ථවත් ප්‍රතිපාදන උතුරට ලැබිණි. උතුරු වසන්තය හුදු දේශපාලන පාඩමක්‌ ලෙස අර්ථ දැක්‌වීමට කිසිවෙකුට නොහැකිය. ප්‍රභාකරන්ගේ කුරිරු යුද්ධය විසින් වනසන ලද භෞතික සම්පත් රැසක්‌ම ආණ්‌ඩුව විසින් යළිත් උතුරේ ජනතාවට ලබා දී ඇත. මංමාවත් ගොඩනැඟිලි සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් දුම්රිය මාර්ග යනාදී සාධනීය අංග රැසක්‌ ඒ උතුරු වසන්ත තෑගි මල්ලේ තිබුණි. එහෙත් ආණ්‌ඩුවට උතුරේ ජනතාව දැක්‌වූ ප්‍රතිචාරය කුමක්‌ද?

අප ඒ ප්‍රශ්නයට නිවැරැදිව පිළිතුරු ලබා නොගත හොත් යළිත් වන්නේ මහා විපතකි. උතුරේ ඡන්ද ප්‍රතිඵලය තිස්‌ වසරක්‌ තිස්‌සේ පීඩනයට පත්ව, සිය ඉරණම පිළිබඳ කිසිදු විශ්වාසයකින් තොරව ජීවත් වූ ජනතාවගේ හෘදය සාක්‌ෂිය බව අප තේරුම් ගත යුතුය. මේ ආණ්‌ඩුව උතුරට දුන් භෞතික ජීවිතයට වඩා වෙනස්‌ ආධ්‍යාත්මික ජීවිතයක්‌ උතුරේ ජනතාව අපේක්‍ෂා කරන බව ඒ සමස්‌ත ප්‍රතිඵලයේ අරුතය.

සැප්තැම්බර් 21 වැනිදා උතුරේ ජනතාව එක්‌ හඬින් කියා සිටියේ අපේ ජීවිත වෙනස්‌ කිරීමේ යතුර දෙමළ සන්ධානයට ලබා දී තිබෙන බව නොවේද? දකුණේ අපට විග්නේශ්වරන් පෙනුණේ කොළඹින් ආනයනය කළ මධ්‍යම පාන්තික හාන්සිපුටු දේශපාලනඥයෙක්‌ ලෙසය. එහෙත් උතුරේ ජනතාවට විග්නේශ්වරන් යනු නළලේ අළු ගා ගත් වේට්‌ටිය අඳින දෙමළ බුද්ධිමත් නායකයෙකි. දෙමළ නායකයන් අතර සිටින ආනන්ද සංගරීට වඩා විශ්වාසවන්ත නායකයෙකි. කිළිනොච්චියට තරග කළ ආනන්ද සංගරීට ඡන්ද 2896 ක්‌ ලැබෙද්දී යාපනයට තරග කළ විග්නේශ්වරන්ට ඡන්ද 132,225 ක්‌ ලැබිණි. දෙමළ සන්ධානයෙන් තරග කළත් දෙමළ ජනතාව ඔහුට ලබා දුන්නේ හය වැනි ස්‌ථානයයි.

මේ හැම දෙයක්‌ම ඉතා නිහඬව සිදුවී තිබේ. ඒ හැම ක්‍රියාවකම අප තේරුම් ගත යුතු දෙයක්‌ද තිබේ. 1959 ප්‍රකට සිංහල දෙමළ කෝලහලයේදී මෙන්ම 1983 අලඡ්ජී දෙමළ සංහාරය දියත් වූ කළු ජූලියේ තුවාලද දෙමළ ජන සිත් තුළ තවම සුවපත් වී නැති බව අප තේරුම් ගත යුතුය.

ඇත්ත වශයෙන්ම ප්‍රභාකරන් නැඟ සිටියේ ඒ ඓතිහාසික තුවාලවලට එකම ප්‍රතිකාරය ඊළම බව ජනතාවට ඒත්තු ගන්වමින්ය. එහෙත් උතුරේ දෙමළ ජනතාව ප්‍රභාකරන්ට අවනත වූයේ තුවක්‌කුවට බියෙන් බවද, අප මතක තබා ගත යුතුය. ප්‍රභාකරන් සිය හමුදාව ශක්‌තිමත් කළේ ජනතාවගේ දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යමින් වුවද කාලයත් සමග ඔවුහු සයනයිඩ් කරලේ විප්ලවයට ආදරය කරන්නට ද වූහ. ඒ කාලය තුළ ප්‍රභාකරන් තමන්ට තර්ජනයක්‌ විය හැකි දෙමළ නායකයන් සියල්ලන්ම ඝාතනය කරවීය.

අද දෙමළ සන්ධානයේ නායකයන් වී සිටින කිසිවෙක්‌ එදා ප්‍රභාකරන්ට විරුද්ධව වචනයක්‌ හෝ කතා නොකළහ. ප්‍රභාකරන්ට විරුද්ධ වී නම් ඒ ආනන්ද සංගරී වැනි සුළුපිරිසකි. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් වන්නියට කැඳවා උපදෙස්‌ දෙන ලද්දේත් තමිල් සෙල්වම් විසිනි. තිස්‌ අවුරුදු යුද සමය තුළ මේ නායකයන් වැඩිපුරම සිටියේ කොළඹ හෝ පිටරටවලය. ඔවුන්ගේ දරුවෝද ප්‍රභාකරන්ට අසු නොවූහ.

දෙමළ සන්ධාන නායකයන් යළි උතුරට පා තබන්නේ රාජපක්‍ෂවරුන් විසින් ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීමෙන්ද පසුවය. ප්‍රභාකරන් නිහඬ කර උතුරේ ජනතාවට නිදහස ලබා දුන් රාජපක්‍ෂවරුන්ට ඒ ජනතාව දිනා ගැනීමට නොහැකි වූ බව උතුරේ මේ ප්‍රතිඵලයේ සමුදයාර්ථය බව අප තේරුම් ගත යුතුය.

ජනාධිපති මහින්ද උතුරට ගිය අවස්‌ථාවල දෙමළ ජනතාවගේ මුහුණුවල පිපුණේ අව්‍යාජ සිනහවකි. ඔවුන් මැදින් ඇවිද යන ඔවුන්ගේ බසින් අමතන මේ සිංහල රාජ්‍ය නායකයා ගැන ඔවුහු අවංකවම සතුටු වූහ. එහෙත් ඔහුගෙන් අපේක්‍ෂා කළ ජීවිතය පෙරළා තමන්ට නොලැබුණු බව සහතික කළේ යළිත් පැරැණි දෙමළ සන්ධානය පිළිබඳ බලාපොරොත්තුවක්‌ තබමින්ය. දෙමළ නායකයන් කොළඹින් විග්නේශ්වරන් උතුරට ගෙන යන්නේත් ඔන්න අලුත් නායකයෙක්‌ ඇවිල්ලා යන්න තහවුරු කිරීමටය. එසේම ඔහු දේශපාලනයෙන් කුජීත වූ අයෙක්‌ද නොවූහ. උතුරේ ජනතාවගේ අපේක්‍ෂාවන් දැල්වීමට ඔහු ව්‍යවස්‌ථාව තුළ තිබෙන ප්‍රතිපාදන අනුව කටයුතු කරන බවද දැනටමත් ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳව හෙට දවසේ අපට කතා කළ හැකිය.

දකුණට සාපේක්‍ෂව බලන විට උතුරේ ඡන්දය දෙමළ ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන්ම දියත් වූවක්‌ බවද අපට පිළිගැනීමට සිදු වේ. දකුණේ මෙන් දේශපාලන ඥතියෝද වෙනත් වෙනත් ජාවාරම්කරුවෝද ඒ දේශපාලන ලැයිස්‌තුවලින් මතු නොවූහ. දකුණේ පළාත් සභා වරිග සභා බවට පත්ව තිබෙන බව ජ. වි. පෙ. නිතර කියයි. එසේම උතුරේ ජනතාවට දේශපාලන දන්සැල් හෝ වෙනත් මානසික හෝ භෞතික අල්ලස්‌ නොලැබුණු බවද අප තේරුම් ගත යුතුය.

උතුරේ ජනතාව අපේක්‍ෂා කළ මහින්ද රාජපක්‍ෂගෙන් ඔවුන්ට නොලැබුණ දේ විග්නේශ්වරන්ගෙන් ලබා ගත හැකිද? මගේ අදහස වන්නේ අද තිබෙන අතිශය සියුම් සංවේදීම ප්‍රශ්නය එයයි. විග්නේශ්වරන්ලාත් රාජපක්‍ෂවරුනුත් අතර ඇතිවන සහනසීලී සුහද පිළිවෙතකින් එම අපේක්‍ෂාවන් ඉටුකර ගත යුතුය. උතුර යනු දෙමළ නිජබිමක්‌ නොව මේ රටේ ඒකීය රාජ්‍යයේ පළාතක්‌ බව තවමත් සමහර දෙමළ නායකයෝ නොපිළිගනිති. විග්නේශ්වරන් දැනටමත් කියා තිබෙන පරිදි ව්‍යවස්‌ථානුකූලව ක්‍රියාකරමින් දකුණේ ජනතා මනස තුළට ඇතුළුකර තිබෙන විචිකිච්ඡාවන් දුරලීම මෙහිදී ඉතා වැදගත්ය.

දකුණේ ජනතාව උතුර දෙස සැක මුසුව බලන්නා සේම උතුරේ ජනතාවද දකුණ දෙස සැක මුසුව බලන බව ඇත්තය. ඒ දෙතැන්හිම වරද ජාතිවාදය වපුරූ දේශපාලනඥයන්ගේය. එසේම තමන්ට හිසරදයක්‌ හැදුනත් තවමත් සම්බන්ධන්ලා දුවගෙන යන්නේ ඉන්දියාවට හා බටහිරටය. ඔවුන්ගේ දේශපාලන භාවිතය තුළ ඔවුන්ගේ මනස නිතරම දකුණට හා රටට විරුද්ධව බව පෙනුණු දෙයකි. විග්නේශ්වරන් පටන්ගත යුත්තේම ඒ ඇදය දිග හරිමින්ය. තම දෙමළ ජනතාව තුළ තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්‍ෂාවන් මිස වෙනම බෙදී වෙන්වී ජීවත්වීමේ සිහිනයක්‌ නොවන බව තේරුම් ගැනීම ද මෙහිදී ඉතා වැදගත් වනු ඇත. දෙමළ ඩයස්‌ පෝරාවේ හා බටහිරයන්ගේ ඊළාම් ලණුවලින් ප්‍රවේශම් වීමටද ඔහු වගබලා ගත යුතුය. ඒ කටයුත්ත හරියටම ඉටු වුවහොත් උතුරේ තරුණයන්ට යළිත් තුවක්‌කු සංස්‌කෘතිය තෝරා ගැනීමට අවශ්‍ය වන්නේද නැත. ප්‍රභාකරන්ගේ ෆැසිස්‌ට්‌වාදයේ පීඩනයෙන් ජීවිතයම වධයක්‌ වූ ඒ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මාවත ඉල්ලා සිටින බව මේ ඡන්ද ප්‍රතිඵලය තිරසරව කියා සිටියි.

උතුරේ ඡන්ද ප්‍රතිඵලය පිළිබඳ දැනටමත් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව දක්‌වන උනන්දුව ඔවුන්ගේ නිල වෙබ් අඩවියෙන් ප්‍රකාශ වී තිබේ. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ඡේන් සැකී නමින් සඳහන් එයින් ඉල්ලා ඇත්තේ රජය උතුරේ පාලනයට සහාය දිය යුතු බවය. ඇත්තටම ඇමරිකාවට එබඳු ප්‍රකාශයක්‌ කිරීමේ වුවමනාව කුමක්‌ද? මෙයින් පෙනෙන්නේ ඇමරිකාව වැනි රටවල් තවමත් උතුර ගැන දක්‌වන උනන්දුවත් ඔවුන්ගේ අධිපති මානසිකත්වයත් මිස අන් දෙයක්‌ නොවේ. ඇමරිකාවේ මෙබඳු ප්‍රකාශ මේ ආණ්‌ඩුවේ විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක මෙන්ම දිනේෂ් ගුණවර්ධන වැනි ඇමැතිවරුන් අවුස්‌සන සුළුලුය හැකිය.

http://www.divaina.com/2013/09/29/politics03.html

සබැඳි ලිපි -
[
විග්නේෂ්වරන්, උතුර සහ ඉන්දියාවhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_29.htmlඋතුරේ ඡන්ද ප්‍රතිඵලය නිවැරැදිව කියවිය යුතුයි!http://denethharinna.blogspot.com/2013/09/blog-post_7045.html(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1455.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_11.html
ඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]

විග්නේෂ්වරන්, උතුර සහ ඉන්දියාව

බලාපොරොත්තු වූ පරිදිම උතුරු පළාත් සභාවේ ජය දෙමළ සන්ධානයට හිමි විය. 1988 න් පසු උතුරේ පළාත් සභා මැතිවරණයක්‌ පැවැත්වුණේ ඉකුත් 21 වැනිදාය. දෙමළ ජනයා මහත් උනන්දුවෙන් ඡන්දය භාවිතා කළ අතර එම පළාතේ මන්ත්‍රී ආසන 38 න් 30 ක්‌ම දෙමළ සන්ධානය විසින් දිනා ගැනීම සුවිශේෂ තත්ත්වයකි. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ආසන 7 ක්‌ද මුස්‌ලිම් කොංග්‍රසයට එක්‌ ආසනයක්‌ද හිමි විය. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී. වී. විග්නේෂ්වරන් මහතාට වැඩිම මනාප හිමි වූ අතර ඔහු මහඇමැති තනතුරට පත්කරන බව දෙමළ සන්ධානය නිවේදනය කර හමාරය.

මැතිවරණය ජයග්‍රහණයෙන් අනතුරුව යාපනයේදී සිංහලෙන් අදහස්‌ දැක්‌වූ විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කර සිටියේ තමන් කොළඹ ආණ්‌ඩුවත් සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බවය. ඇත්තෙන්ම විග්නේෂ්වරන් මහතා තමන් වර්ධරාජා පෙරුමාල් කෙනකු ලෙස කටයුතු කළ හොත් සිදුවන්නේ කුමක්‌ද? නොබෝ කලකින්ම මේ පළාත් සභාව විසුරුවා හැරීමට රජයට සිදුවීමයි. ලංකා ආණ්‌ඩුව බිලියන ගණනින් මුදල් වැය කර උතුර සංවර්ධනය කළද සන්ධානයට ඒ සංවර්ධනයට ප්‍රතිඋපකාර වශයෙන් ඡන්ද ලැබුණේ නැත. දෙමළ මතය අපට බලහත්කාරයෙන් වෙනස්‌ කළ නොහැකිය. එම නිසා විග්නේෂ්වරන් මහතාගේ උතුරු පළාත් සභාවේ ක්‍රියා කලාපය දෙසද මැදහත් සිතින් බැලීමට පුරුදු විය යුතුය. එහෙත් ඔහුට අවශ්‍ය ලෙස උතුරේ ආණ්‌ඩුකාරවරයා වෙනස්‌ කිරීමට හෝ උතුරු හමුදා කඳවුරු වෙනස්‌ කිරීමට ඉඩදිය යුතු නැත. විග්නේෂ්වරන් මහතා මධ්‍යස්‌ථ මතධාරියකු ලෙස කොළඹ ආණ්‌ඩුව සමග සහයෝගිව කටයුතු කිරීමට තීරණය කිරීම වඩා යහපත් බව 'ද හින්දු' පුවත්පත ඉකුත් 24 වැනිදා සිය කතුවැකිය මගින්ද ප්‍රකාශ කර තිබිණි. මේ මධ්‍යස්‌ථභාවය පිළිබඳව කොටි හිතවාදී බලවේගවල කනස්‌සල්ලක්‌ දැන් සිටම පැන නැගී ඇති බව පෙනෙන්නේ ටැමිල්නෙට්‌ වෙබ් අඩවිය මගින් පත්වීමට නියමිත මහ ඇමැතිවරයාට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති නිසාය. විශේෂයෙන් ඉන්දීය අගමැති මන්මෝහන් සින් මහතා පොදුරාජ්‍ය මණ්‌ඩලීය සමුළුවට සහභාගිවීම සඳහා කොළඹට පැමිණිය යුතු බව විග්නේෂ්වරන් මහතා පැවසීම කොටි හිතවාදී බලවේගවල කෝපයට හේතුවී තිබේ. නමුත් අප මේ ප්‍රකාශය සැබවින්ම අගය කළ යුතුය.

දෙමළ සන්ධානයේ ජයග්‍රහණය පිළිබඳව ඉන්දීය රජය නම් පැහැදිලිව සතුටුවන බව අමුතුවෙන් කිවයුතු නැත. ඔවුන් කනගාටු වන්නේ හදිසියේ හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය උතුරු පළාත් සභාවේ බලය ලබා ගත්තා නම් පමණි. දෙමළ ජාතික සන්ධානයේ වර්ගවාදී මන්ත්‍රීවරයකුට වඩා දැන උගත් ප්‍රභූ පුද්ගලයකු උතුරේ මහ ඇමැති අපේක්‍ෂකයා ලෙස පත්කිරීම ඉන්දීය තානාපති අංශවලද බලාපොරොත්තුව විය. එනිසාම මාවෙයි සේනාධිරාජා වෙනුවට කොළඹ කේම්බ්‍රිඡ් පෙදෙසේ වෙසෙන විග්නේෂ්වරන්ට කැමැත්ත පළ විය. දැන් දිල්ලිය වඩා උනන්දුවෙන් බලා සිටින්නේ විග්නේෂ්වරන් මහතා තම කාර්යභාරය කෙළෙස ඉදිරියට ගෙනයයිද යන්න පිළිබඳවය. ප්‍රභාකරන්ගේ අවතාරයෙන් මිදී බෙදුම්වාදයද අතහැර වඩා පුළුල් මනසකින් යුක්‌තව කොළඹ ආණ්‌ඩුවත් සමග ගනුදෙනු කළ හැකි හොඳම පුද්ගලයා වන්නේ විග්නේෂ්වරන් බව ඉන්දීය හමුදා ඔත්තු සේවයේ හිටපු ප්‍රධානියකු වන කර්නල් ආර්. හරිහරන් ප්‍රකාශ කර තිබිණි. 1988 දී ඉන්දියාවට මෙවැනි ප්‍රභූ උගත් පුද්ගලයකු සිටියේ නැත. එදා සිටියේ කැලයෙන් එළියට බට වර්ධරාජා පෙරුමාල්ය.

මහඇමැති තනතුරේ වැඩ භාරගත් පසු විග්නේෂ්වරන් මහතා සිය මුල්ම විදේශ සංචාරය ලෙස ඉන්දියාවට යැමට නියමිත බවට දැනටම වාර්තා පළවී ඇත. ඔහු තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජෙයරාම් මහත්මිය ද හමුවීමට නියමිතය. ජයලලිතා සැමවිටම උග්‍ර දෙමළ ජාතිවාදයෙන් පෙළෙමින් ශ්‍රී ලංකා රජයට කෙණෙහිලිකම් කිරීමට කටයුතු කළ බව අපට අමතක නැත. ඇය මෙරට පාසල් පාපන්දු කණ්‌ඩායමකට පවා චෙන්නායි නුවර ක්‍රීඩා කිරීමට ඉඩ දුන්නේ නැත. දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව ජයග්‍රහණය කළ විට මුතුවෙල් කරුණානිධි සුබපැතුම් පණිවුඩයක්‌ එක්‌ කළද ජයලලිතා සුබපැතුමක්‌ නිකුත් කළ බවක්‌ අපට අසන්නට දකින්නට ලැබුණේ නැත. කෙසේ නමුත් ලෝකයේම දෙමළ ප්‍රජාවගේ නායිකාව ලෙසට කිරුළු පැළඳීමට උත්සාහ කරන මේ හිටපු නිළිය හමුවීමට විග්නේෂ්වරන් මහතා යැම පිළිබඳව නම් අපට විරෝධයක්‌ පළ කළ නොහැක.

දිල්ලියේ දේශපාලනය රත් වන්නේ තමිල්නාඩුවේ දෙමළ ජාතිවාදී ක්‍රියා කලාපය නිසාය. උතුරු පළාත් සභාවේ ක්‍රියාකලාපය ගැන ජයලලිතා මෙන්ම කරුණානිධිද වඩා උනන්දුවන බව පැහැදිලිය. එම නිසා විග්නේෂ්වරන් මහතා දෙමළ ''අම්මා'' හමුවීමට යැම අනිවාර්ය තත්ත්වයකි. ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය පවා ප්‍රකාශ කරන්නේ විග්නේෂ්වරන් තමිල්නාඩුවේ මතයට වඩා දිල්ලියේ මතයට හිස නමන බවයි. ජයලලිතාගේ දෙමළ ජාතිවාදී දර්ශනය උතුරු පළාත් සභාවේ ක්‍රියාත්මක කළ නොහැක. 

කෙසේ නමුත් විග්නේෂ්වරන් මහතාට මේ මහ ඇමැතිනිය කවර උපදේශයක්‌ ලබාදෙයිද යන්න ගැන අපට අනාවැකි කිව නොහැකිය. උතුරේ ඡන්දදායකයන් 67.5% ක්‌ ඡන්දය භාවිතා කිරීම මගින්ම පෙනී යන්නේ ඔවුන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කැමැත්තයි. උතුරු පළාත් සභාව පිළිබඳව ඔවුන් දැඩි බලාපොරොත්තු තබාගෙන සිටින බව අප අමතක කළ යුතු නැත.

උතුරු පළාත් සභාවත් ඉන්දියාවත් වඩා ප්‍රායෝගික ලෙස කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකා රජය විචක්‌ෂණව කටයුතු කිරීම වැදගත්ය. කොළඹ ආණ්‌ඩුවට ප්‍රහාරයක්‌ එල්ල කිරීම සඳහා ඉන්දියාව යොදා ගන්නා හස්‌තය වන්නේ උතුරු පළාත් සභාවයි. නමුත් උතුරු පළාත් සභාව සමග ගැටුමක්‌ ඇති කර නොගැනීමට රාජපක්‍ෂ ආණ්‌ඩුව සෑම විටම කටයුතු කළ යුතු අතර උතුරේ සංවර්ධන කටයුතුද කිසිම විටක නතර කළ යුතු නැත. ඊනියා දෙමළ ඩයස්‌පෝරාව නම් බලා සිටින්නේ විග්නේෂ්වරන් මහතාද ඊළාම් කොඩිය ඔසවා ගෙන ප්‍රභාකරන්ගේ මන්ත්‍ර යළිත් ජප කිරීම ආරම්භ කරන්නේ කවදාද යන්න පිළිබඳවය. ඒ තත්ත්වය සිදු නොවන බව දැන් සිටම අවබෝධවී ඇති නිසා කොටි හොරණෑවක්‌ වන ටැමිල් නෙට්‌ වෙබ් අඩවිය හරහා දෙමළ මහ ඇමැතිට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත. දෙමළ ඩයස්‌පෝරාව විග්නේෂ්වරන් මහතාව විවේචනයට පෙළඹීමේ වාසිය ගත යුත්තේ ශ්‍රී ලංකා රජයයි.

ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුව ආණ්‌ඩුව උතුරේ ප්‍රදේශ සංවර්ධනය සඳහා ගෙන ගිය වැඩපිළිවෙළ උතුරු වසන්තය විය. උතුරු වසන්තයෙන් දේශපාලන වාසියක්‌ නම් මහින්ද රාජපක්‍ෂ රජයට ලැබුණේ නැත. දැන් විග්නේෂ්වරන් මහඇමතිවරයා සිය පළාතේ වැසියන්ට උතුරු වසන්තය ඇති කිරීමට ප්‍රමුඛ විය යුතුය. විශේෂයෙන් ඉන්දියාව කෙළින්ම උතුරු පළාත් සභාව හා සම්බන්ධ වී සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කරනු ඇත. මෙය මධ්‍යම ආණ්‌ඩුව මඳක්‌ කලබල වන තත්ත්වයක්‌ වුවද එය වැළැක්‌විය නොහැක. එවැනි අවස්‌ථාවලදී රජය වඩා බුද්ධිමත්ව ක්‍රියාකළ යුතුය. නමුත් වඩා සාහසිකව ක්‍රියාකළ යුත්තේ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නවලදීය. විග්නේෂ්වරන් මහතාට මනාප ලක්‍ෂයක්‌ ලැබුණද උතුරේ හමුදාව පිළිබඳ තීරණ ගැනීමට ඔහුට බලයක්‌ නැත. හමුදාව පිළිබඳ ඔහු සිය ජයග්‍රහණයෙන් පසු කිසිවක්‌ ප්‍රකාශ කර නැත. උතුරේ හමුදා කඳවුරු පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ ජනපතිවරයාට මිස උතුරු පළාත් සභාවට නම් නොවේ.

කවරක්‌ වෙතත් උතුරේ ජනමතයට අපි ගරු කළ යුතුය. දෙමළ සන්ධානයේ ප්‍රතිපත්ති වලට අප එකඟ නොවුනද ඒ ජනතාවගේ දේශපාලන කැමැත්ත බලෙන් වෙනස්‌ කළ නොහැකිය. ප්‍රභාකරන් විනාශ කර දැමුණේ වෙනම රටක්‌ ඇති කිරීමට උත්සාහ කළ නිසාය. දැන් දෙමළ ජනතාව උණ්‌ඩය ගැන නොව ඡන්දය පිළිබඳව විශ්වාසය තබා ඇත. එනිසා අපි උතුරු පළාත් සභාවේ ක්‍රියාමාර්ග කවරක්‌ වේද යන්න පිළිබඳ වඩා අවබෝධයෙන් යුක්‌තව බලා සිටිය යුතුව ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2013/09/29/politics02.html

සබැඳි ලිපි -
[
උතුරේ ඡන්ද ප්‍රතිඵලය නිවැරැදිව කියවිය යුතුයි!http://denethharinna.blogspot.com/2013/09/blog-post_7045.html(උතුරේ) මැතිවරණ ප්‍රතිඵල කියවීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1455.htmlකොළඹ ආණ්‌ඩුව උතුරෙන් පලවා හැරීමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9566.html
විග්නේෂ්වරන් එල්ලුන ස්‌වයංපාලන හොල්මන! - TNA උතුරු පළාත් සභා මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සංෂිප්තය
http://denethharinna.blogspot.com/2013/09/blog-post_11.html
ඊළාම් විස කැවූ දෙමළ සන්ධාන මැතිවරණ ප්‍රකාශනයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_10.htmlටී. එන්. ඒ. ප්‍රකාශනයට පක්ෂ බහුතරයක්‌ විරුද්ධයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_9.htmlඅප ඔවුන් හමුවිය යුත්තේ නන්දිකඩාල් කලපුවේදීමද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_5902.htmlද්‍රවිඩ ජාතික සන්ධාන මැතිවරණ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ වෙනම රාජ්‍යයක්‌ ගොඩනැගීමේ අරමුණයි - අනුර කුමාර දිසානායකhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.htmlඉඩම් - පොලිස්‌ - සෞඛ්‍ය - අධ්‍යාපන සම්පත් මෙන්ම ස්‌වයං පාලනයක්‌ ටීඑන්ඒ ඉල්ලයි. "ෆෙඩරල් ක්‍රමය යටතේ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධත් කළ යුතුයි"http://denethharinna.blogspot.com/2013/09/blog-post_8717.html
]